Wednesday, July 23, 2014

Published 8:30 AM by Indika Marasinghe with 0 comment

සැබෑ සිහියෙන් උපනා විනය වේ මැයි අගනා

 අතහැරීම-01
 සැබෑ සිහියෙන් උපනා විනය වේ මැයි අගනා
 

15 වැනි කොටස


ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය.

වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්‍ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය.

විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්‌වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්‌මීමට අසමත්වූ භික්‍ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක්‌ නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්‌වභාවික සිත, කය, වචනය හික්‌මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක්‌ විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක්‌ නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක්‌ සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක්‌ නොමැත. නිවන් මඟේ හික්‌මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්‌වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක්‌ ගෙන ඇතිකරගන්නක්‌ නොවේ.

විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක්‌ කියන්නම්. භික්‌ෂුවකට හිසකෙස්‌ සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක්‌ හිසකෙස්‌ බානවා. දින දෙක තුනකට වරක්‌ රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්‍ෂුවක්‌ ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක්‌ එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක්‌ රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්‌. නමුත් අදාළ භික්‍ෂුවට එය ප්‍රශ්නයක්‌ නොවේ. මන්ද උන්වහන්සේ හික්‌මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්‍ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්‌මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක්‌ වන්නේ ඔබ කණ්‌ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ

 මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.
වැඩිවිස්තර
      edit

Monday, July 21, 2014

Published 7:30 AM by Indika Marasinghe with 0 comment

පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක්

අතහැරීම-01
පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක්


පළමු කොටසේ අවසන් ලිපිය...

ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌ ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්‌.

මෙම ක්‍රියාව දැන් හුඟක්‌ ජනප්‍රියයි. නායක ස්‌වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට ස්‌ථාවර අනාගතයක්‌......

පුංචි කාලෙම ඉතිරි කිරීම පුරුදු කළහම පොඩි හාමුදුරුවන්ට අතහැරීම අමතක වෙනවා. අතහැරීම අමතක වුණ පුංචි හාමුදුරුවෝ තරුණ වියට පත්වුණහම, භවයට ඉතිරි කිරීම සඳහා සිව්රු හැරයනවා.

පුංචි හාමුදුරුවෝ වැරැදි නැහැ.

පුංචි කාලෙ ඉඳලා උගන්වපු දෙය පොඩි හාමුදුරුවෝ ක්‍රියාත්මක කරනවා. නිරයේ බැංකුව, තිරිසන් ලෝකයේ බැංකුව, ප්‍රේත ලෝකේ බැංකු වල හොඳ පොලියක්‌ ගෙවනවා.

අවසානයේ සියල්ලන්ම එකතුවී සිව්රු හැරයැම ගැන තරුණ ස්‌වාමීන්වහන්සේලාට දොස්‌ කියනවා.

ඔබට ලිපියක්‌ මඟහැරුණේද?

මේ අවසානයක්‌ නොවේ. එය ජවාධික ඇරඹුමක්‌මය.

මෙම ලිපි මාලාව කියවූ ඔබ විසින් අපට දෙනු ලැබූ දුරකථන ඇමතුම් ගණන, යොමු කරනු ලැබූ ලිපි ගණන, අන්තර්ජාලයෙන් එවන ලද (ඊ-මේල්) කන්දරාව, ප්‍රමාණ කර දැක්‌විය නොහැකි තරම්ය.

විමුක්‌තිය උදෙසා වන මාර්ගය සෘජුව සඳහන් වන තැන, එය සැබැවින්ම 'යහ මඟ' යෑයි තෝරා ගැනීමට හැකි මෙතරම් පිරිසක්‌ මේ බිමෙහි ඉපිද සිටින වග අපට දැනුණේ මහත් වූ සතුටක්‌ද සමගය.

තමනුත්, නිවන් මඟත් යන්න දෙකක්‌ නොව එකක්‌ කරගත් අපේ කාලයේ 'වීරයකු'වූ බුදු පුතකුගේ නිර්මල චිත්ත සන්තානයේ ඉපිද, දහමට අනුව ගැළපුණු අදහස්‌ මාලාවක මහිමය දහම් පිපාසයෙන් පෙළුණු ජාතියක්‌ අවදි කිරීමට තරම් ජව සම්පන්ව වූ බවකි අපට හැඟුනේ.

මෙම ලිපි මාලාවේ බොහෝ තැන් පැවිදි පාර්ශ්වයට කරන්නා වූ ආමන්ත්‍රණයක්‌ ලෙසින් මතුපිටින් පෙනුණද, ඒ ගලපා ගැනීම ගිහි දිවියක වුව සසර ගිනි නිවන සිසිල් පැන් දහරක්‌ වූ බව නිසැකය. ගිහි පැවිදි භේදයකින් තොරව ඔබේ සදහම් සිත සරු කළා නියතය.

මේ මාර්ගෝපදේශනයෙන් ඔබ දහම දකිද්දී මේ සටහන් තැබූ බුදු පුතුන් කව්රුන්දැයි දැනගැනීමට ඔබ තුළ උපදින කැමැත්ත ඉතා අහිංසක අශාවක්‌ බව ඉඳුරාම දනිමු. ඒ හේතුවෙන්ම මේ සටහන් තැබූ ස්‌වාමීන්වහන්සේ කවරෙක්‌දැයි, උන්වහන්සේ වැඩ සිටිනුයේ කොහිදැයි අපෙන් ඇසූ පිරිසද බොහෝය. එහෙත් උන්වහන්සේ හුදෙකලාව ප්‍රියකරන නිසාම, සමාජයේ ප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්ව සංකීරණ වනවා වෙනුවට, අප්‍රසිද්ධියේ සරළ දිවියක්‌ ගතකරමින් පිළිවෙත් පිරීම පහසු බව කියා ඇති නිසාම මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරන අප පවා උන්වහන්සේ වැඩ සිටින ඉසව්වක්‌ ගැන සෙවීම යුතු නොවේ යෑයි සිතමු. එබැවින් මින් මතු ඔබ විසින් ඒ පැනය අප වෙත ඉදිරිපත් නොකරනු ඇතැයිද සිතමු. මන්ද මේ බුද්ධ පුත්‍රයානෝ අප වෙනුවෙන් සිය යුතුකම් මැනවින් ඉටුකර ඇති බැවිනි. දැන් අපට ඉතිරිව ඇත්තේ ඒ අදහස්‌ පිහිට කරගනිමින් මේ සසර ජයගැනීමය. සතර අපායෙන් මිදීමය. මෙය අවසානයක්‌ නොව, ජවාධික ආරම්භයක්‌ ලෙසින් සටහන ඇරඹුමේ සඳහන් කළේ එනිසාය.

මේ සමග පළවෙන්නේ උන්වහන්සේගේ වචන් වලින්ම 'නිවනට මඟ' ලෙසින් මාතෘකා කර ඇති පළමු සටහන් පොතෙහි අවසන් සටහනය. එහෙත් මෙතැනින් මෙම ලිපි මාලාව අවසන් නොවේ.

'අතහැරීම' නමින් උන්වහනසේ නම් කර ඇති මෙම සටහන් මාලාවේ දෙවැන්න ලබන සතියේ සිට මේ අකාරයෙන්ම පළවනු ඇත. 'නිවනට මඟ' හෙවත් පළමු කොටසින් ඔබ ලද ජවය තවදුරටත් වර්ධනය කරගැනීමට එය ඔබට මහෝපකාරී වනු ඇත. 'අතහැරීම' කොටසෙහි ලිපි තරමක්‌ දීර්ඝය. දහම් හරයෙන් නොතිත්ය. එයද ඔබගේ දහම් දිවිය සරුවෙන් සරුවට පත්කරනු ඇති වග නිසැකය. අපි ඔබට ආරාධනා කරමු. මහ රහතුන් වැඩි මඟේ තවත් පියවරක්‌ තබන්නට ලබන සතියේ සිට....

(මෙම ලිsපි මාලාව ගැන උනන්දු බොහොමයක්‌ දෙනා අපෙන් කරන ලද ඉල්ලීම වූයේ එහි සමහරක්‌ කොටස්‌ ඔවුනට මඟහැරුණු බැවින් ඒවා ලබාගැනීමට උපකාර කරන ලෙසය. එය අපේ උපරිමයෙන් කිරීමට උත්සහ ගත්තද පසුව එය ප්‍රායෝගිකව අපහසු කටයුත්තක්‌ බවට පත්විය. එහෙත් මේ ලිපි මාලාව පිළිවෙලින් එකතුකර ගැනීමට ඔබට නොහැකිවී යෑයි කණගාටු නොවන්න. නුදුරේදීම ඒ පළමු කොටසේ ලිපි සියල්ල එකතු කර 'මහ රහතුන් වැඩි මං ඔස්‌සේ' පළමු කොටස ලෙසින් ඔබ අතට පත්වනු ඇත. එය පළකරනු ලබන දිනය පිළිබඳව ඉදිරි ලිපිමාලාව පළ කරන අතරතුර මේ තීරයෙන්ම ඔබට දැනුම්දෙන්නෙමු. එම පොත කිසිවිටකත් ලාභ ලැබීම හෝ වෙළෙඳ අරමුණකින් යුක්‌තව ප්‍රකාශයට පත්කරන්නක්‌ නොවන අතර ඉන් ලබන සියලුම ආදායම මේ ශාසන සම්ප්‍රදායේ චිරස්‌ථිතිය උදෙසාම යෙදවීමේ පැහැදිලි වැඩ පිළිවෙලක්‌ද සකසා ඇත්තෙමු)

ඉන්ද්‍රජිත් සුබසිංහ

 මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.
වැඩිවිස්තර
      edit

Saturday, July 19, 2014

Published 8:00 AM by Indika Marasinghe with 0 comment

ඔබ වන්න පිරිත් පොත

 අතහැරීම-01
13, 14 වැනි කොටස්‌
ඔබ වන්න පිරිත් පොත


මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!


ගිහි - පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට පිරිත් ගැන විශාල විශ්වාසයක්‌ තිබෙනවා. ඒ විශ්වාසය නිවැරැදිය. ප්‍රතිඵලදායකය. නමුත් පිරිතේ සැබෑ ශක්‌තිය, සැබෑ ප්‍රතිඵලය තිබෙන්නේ සඡ්Cධායනය හෝ ශ්‍රවණය කිරීම තුළ නොවේ. වර්තමාන සමාජය තුළ පිරිතේ යෙදීම ඉහත කරුණු දෙකට සීමා වන බවක්‌ පෙනෙන්නට තිබේ. පිරිතේ අර්ථය ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමේ හුරුව, පුරුද්ද, දැනුම සමාජයෙන් ඈත්වෙමින් ඇත. පිරිතේ සැබෑ ශක්‌තිය ඇත්තේ එහි අර්ථය, ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමෙන්ය. අයෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවා "ඇයි ඔබ වහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ, පිරිත් පොතක්‌ භාවිත නොකරන්නේ" කියලා. භික්‍ෂුව දුන්න පිළිතුර තමා "ඔබ භික්‍ෂුවගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන ස්‌වරූපය දකින්න. ඒ ඔබ දකින්නේ පිරුවානා පොත්වහන්සේය" කියලා. පිරිත් කටපාඩම් නොකළාට, අනුනට දේශනා කරන්නට නොගියාට, පිරිතේ සැබෑ හරය ජීවිතයට එකතු කරගෙන සිටිනවා පිරිත් පොතක්‌ වගේම. ඔබත් දක්‍ෂවන්න ජීවිතය පිරිත් පොතක්‌ කරගන්න. එවිට ඔබ පූජනීය වේවි.

"ආදරණීය" බරපොදිය බිම තබන්න

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය. මේ අය ගැන බැඳීමෙන් නිවීමක්‌ හෝ බ්‍රහ්ම ලෝකයක්‌ ගැන සිතිය නොහැකිය. යශෝදරාවන්ටද නිවීම අවබෝධකොට ගන්නට සිදුහත් කුමරුන්ද, රාහුලයන්ද අත්හැරිය යුතු විය. එකට බැඳීමකින් නිවීම අවබෝධ කරගත නොහැක. සහකරුවන් සමඟ නිවීම උදෙසා යා නොහැක. ඇය හෝ ඔහුද, ඔබ අතහැරිය යුතුය. අත්හැරිය විට, ඔබේ මඟ නිරවුල්ය. ඔබේ තනියට, පාළුවට ඔබ ළඟ සිටින්නේ ඔහු හෝ ඇය පමණක්‌ වුවද, ඒ කෙනා යනු ලෝකයමය. මුළු ලෝකයටම ඔබව තබා බඳින වරපටයි.

ඔබ දක්‍ෂ නම්, ඔබේ තනියට ඔබ ළඟම සිටින කෙනා ඔබෙන් අතහැර ඔබ ධර්මය අවබෝධ කරගෙන, අවම වශයෙන් සතර අපායෙන් මිදුණ සත්වයෙක්‌ බවට හෝ පත්වී, ඇයට හෝ ඔහුට පිහිටවෙන්න....

නිවන් මඟ ඔබට තරණය කළ හැක්‌කේ ඔබ සරල, පහසු, සැහැල්ලු වන තරමටය. ඔබ ඔබේම කරගෙන ඔසවාගෙන යන්නේ ඔහු හෝ ඇය කියන බර පොදිය වුවද බර යනු බරක්‌මය. ලෝකයේ බරෙන් මිදීමට පෙරාතුව ඔබ ඔබේ බරෙන් මිදිය යුතුව ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ පිහිට, සරණ යෑයි ඔය සිත නිරතුරුව සිතුවද නිවන් මඟට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදර්ශමත් යුවළක්‌ ලෙස කුසල් මඟේ සතුටින් ගමන් කළද, කවදාහරි දවසක දෑස පියවෙන මොහොතේ, එය අත අතහැරීමට ඔබට නොහැකි වුවහොත් එය මහා අවාසනාවක්‌ වනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ

 මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.


වැඩිවිස්තර
      edit

Thursday, July 10, 2014

Published 12:37 PM by Indika Marasinghe with 0 comment

ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම්..

අතහැරීම-01
ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම්..

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!
11 වැනි කොටස

නිවන් මඟ වඩනා භික්‍ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්‌තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්‌ඩපාත වඩින විට භික්‍ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක්‌ පිණ්‌ඩපාතය සඳහා ගොවි ගෙදරක්‌ ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක්‌ පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස දුව ආවේය. ඇය එක්‌ දරු මවක විය හැකිය. ඇය දෝතට රැගෙන පැමිණියේ සීනි බෝතලයකි. එය ද අඩක්‌ හිස්‌ව තිබිණි. ඇය සීනි හැඳි දෙකක්‌ පාත්‍රයට පූජා කළාය. එකපාරටම ඇය ඉකිගසා හැඬුවාය. "හාමුදුරුවනේ, මේ දරුවගේ තාත්තා හම්බ කරන සේසතම බොන්න වියදම් කරනවා. ගෙදර මොකුත්ම නැහැ පූජා කරන්න, බොහෝ බැගෑපත් ස්‌වරයෙන් කියූ ඇය ඉකිගැසීය. ඇයට පිං අනුමෝදන් කර භික්‍ෂුව ඉවතට වැඩම කළහ.

කාන්තාවකගේ කඳුළු, ඉකිබිඳුම, විරහ වේදනාව, පුරුෂයාගේ නොසලකාහැරීම, එක්‌දරු මවක්‌ ඉල්ලන කරුණාව, මේ සියල්ල මාරයා ඔබට දෙන ආහාරය. එක්‌දරු මවක ලෙස ඔබ ඉදිරියේ හඬාවැටුණේ මාරයාමය. ඔබට සිතුණොත් 'අනේ පව්. ඇයට ආහාර නැති නිසා දරුවාට කිරිත් නැහැ. පාත්‍රයෙන් යමක්‌ දරුවාට දෙන්න ඕනේ. හෙට බිස්‌කට්‌ මොනවහරි ගෙනත් දෙන්න ඕනෙ....'

මේ ආකාරයෙන් ඔබ ඇගේ දුකට අනුකම්පා කරන්න ගියොත්, ඒ ඔබ අනුකම්පා කරන්නේ මාරයාටය. අනාගතයේදී මාරයා ඔබව ගිහිගෙදරක්‌ තුළ එක්‌දරු මවකගේ දාසයකු කරනු ඇත.

හැබැයි ඔබ දක්‍ෂයෙක්‌ නම් මෙසේ සිතනු ඇත. මා ඉදිරිපිට හඬන ඇය සංසාරය පුරාවට මනුෂ්‍ය, දේව, ප්‍රේත, තිරිසන් දුවක්‌ ලෙස ඉපිද හඬමින්ද, විරහවෙන්ද, පුරුෂයා නොසලකා හැරීමෙන්ද හඬාවැටී මේ බුද්ධෝත්පාද කාලයේදීද කඳුළම උරුම කරගත් මිනිස්‌ දුවක්‌ බවයි. ඇය සොයන්නේ අනුකම්පාවයි. කරුණාවයි. ඔබ සොයන්නේ නිවීමයි. අනුකම්පාව, කරුණාව ඉල්ලීම යනු යමක්‌ එකතුකරගැනීමයි. නිවන් මඟ වැඩීම යනු අතහැරීමයි. ඔබ ඇයගේ කඳුළ, දුක අතහැරිය යුතුය. කඳුළ, ඉකිබිඳුමේ ස්‌වභාවය ලෙසත්, දරුවා මවකගේ ස්‌වභාවය ලෙසත් ඔබ දැකිය යුතුය.

සියලු දෙය අතහැර, ගිහිගෙදරින් ඉවත්ව යමෙක්‌ නිවන් මඟ වැඩීමට පැවිදි වෙන්නේ ලෝකයට අනුකම්පා කරන්න නොවේ. අනුන්ගේ දුක නිවීමට නොවේ. තමා තුළ දුක නිවා ගැනීමටය. මේ ගමන ඔබ යන විට මෛත්‍රිය, කරුණාව ද අනුකම්පාව ද අත්හැරිය යුතු අවස්‌ථා පැමිණෙනවාය. ලෝකයාට මෛත්‍රිය, කරුණාව දක්‌වමින් ඔබට මේ ජීවිතය තුළ නිවන් අවබෝධය ලැබීමට නොහැකිය. ඔබ තවම ලෝකය තුළ මැරෙන, ලෙඩවෙන, වයසට යන අසරණ භාවයෙන් මිදී නොමැත. මුලින් ඔබ මේ අසරණභාවයෙන් මිදෙන්න. සසර සැප තියෙනවාය කියන මුළාව පසුපස දුවන, තව පාරමී මදිය කියලා විශ්වාස කරන, රුචි ලෝක ප්‍රාර්ථනා කරන පින්වතුන්ට නම් තව තව මෛත්‍රිය, කරුණාව වැනි ගුණධර්ම වැඩිය යුතුය. ඒ පිළිබඳ කිසිදු තර්කයක්‌ නොමැත. හැකි උපරිමයෙන් එම ගුණධර්මයන් වැඩිය යුතුය. බලන්න, සත්වයා මාරයාගේ සිත දවන්න කොතරම් අකැමැතිද කියලා. එයාගේ තුරුලම පතනවා. මාරයාගේ තුරුළ තමයි භවය. මාරයාගේ තුරුලේ උණුසුමේ තලු මරමින් සතුටු වෙමින්, ඉකිගසමින් හඬමින් කල්ප සියක්‌ කෝටි ගණනක්‌ ඇවිඳපු ඔබ අදත් මාරයා අතදිගුකොට පෙන්වන සසරට ලොල් වෙනවා. මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය තෙක්‌ නිවීම කල් දමනවා. තවත් කල්ප ගණනාවක්‌, ආත්ම දස දහස්‌ ගණනක්‌ මැරී මැරී ඉපිදෙමින් යම් හෙයකින් මනුෂ්‍යයකුව ඔබ මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය ඇති වූ කල ඉපදුණහොත්, එදාටද අද වගේම මාරයො ඔබට ඊළඟට බුදු වන බුදු සමිඳුන්ගේ ශාසනය ඇඟිල්ල දිගුකොට පෙන්වාවී. ඔබ එයත් පිළිගනීවි. ඒ ආකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනාවක්‌ පසුකොට මාරයා ඔබව රැගෙනවිත් තිබෙන්නේ. ඒ නිසාම මාරයාගේ උණුසුම ඔබේ ශරීරයේ උණුසුම කරගෙන සංසාරයක්‌ පුරාවට ඔබට දුක්‌ සාගරයක්‌ උරුමකොට දුන් මාරයාගෙන් නිදහස්‌ වීමට නම් ඔබ කිසිවක්‌ ජීවිතයට එකතුකරගතයුතු නැත. ඔබ කළ යුත්තේ සියල්ල අතහැරීමයි. බලන්න ඔබ එකතු කිරීම කියන අමාරුදේ කරමින් අතහැරීම කියන ලෙහෙසි දෙය මගහරිනවා. එකතු කිරීමය යනු මාරයාගේ ධර්මයයි. අතහැරීම යනු ලොව්තුරා ධර්මයයි. ඔබ මාර පුතෙක්‌ වෙන්නද කැමැති? බුදු පුතෙක්‌ වෙන්නද කැමැති?

ඔබ කරන්නේ එකතුකිරීම, රැස්‌කිරීම ගොඩගසා ගැනීම නම් ඔබ මාරපුත්‍රයෙක්‌මය.මරණින් පසු පෘථග්ජන ගිහි - පැවිදි පින්වතුන් පාංශකූලයේදී තරගයට දේශන පවත්වා, බැනර් ඔසවා ඔබව නිවන් දක්‌වනු ඇත. පෘථග්ජන ගිහි - පැවිදි පින්වතුන්ගේ අසූචි මල් මාලා පළඳවාගෙන ඔබට සිදුවන්නේ තව උපතක්‌ කරා යැමටය. එය සතර අපාය වීමටද හැකිය. දිව්‍ය, මනුෂ්‍ය ලෝක වීමටද හැකිය. එහෙත් ඒ සියල්ලේම ඇත්තේ දුකමය.

පිණ්‌ඩපාතය වැඩීම නිවන් මඟ වැඩීමට අවශ්‍ය කලමනා සොයායන ගමනක්‌ කරගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ඔබ සොයා යන්නේ ආහාර පමණක්‌ නම් මාරයා ඔබට ආශිර්වාද කරනු ඇත. මන්ද ඔබ ආහාර සොයා යන්නේ මාරයාගේ පැවැත්ම පිණිස බැවිනි. දානය පූජා කළ දායකයාට මෛත්‍රී කිරීමට අප කාටත් හැකිය. ඔබ කළ යුත්තේ සැවොම කරන දෙය නොවේ. අන් අයට කළ නොහැකි දෙයයි. හැමෝටම කළ නොහැක්‌කේ නොදුන් කෙනාට මෛත්‍රිය කිරීමයි. පිණ්‌ඩපාත ගමනේදී ඔබ දක්‍ෂ වුවොත් මෛත්‍රී සමාධියට පත්වීමට ඔබට හැකිය. යමෙක්‌ ආහාර පමණක්‌ සොයා පිණ්‌ඩපාතය වඩිනවා නම් ඔහු තුළ ඉතිරිවන්නේ කුසගින්න නොව, භව ගින්නය. භවගින්න නිවාගතහොත් සියලු ගිනි නිවී යනු ඇත. මෙතෙක්‌ අප කර ඇත්තේ ගින්නට පිදුරු දමාගැනීමය. පිදුරු සපයන්නේ මාරයා වුවද ගින්නෙන් දැවෙන්නේ ඔබය. ගින්නේ ස්‌වභාවය ඇවිළීමය. පිදුරුවල ස්‌වභාවය ඇවිළීමට උපකාරී වීමය. මාරයාගේ ස්‌වභාවය මේ දෙක එකතු කිරීමය. ඔබේ ස්‌වභාවය විය යුත්තේ භව ගින්නට කෙලෙස්‌ පිදුරු නොදමා, මාරයාට නොපෙනෙන්නට ගින්න නිවාදැමීමය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.
වැඩිවිස්තර
      edit

Tuesday, July 8, 2014

Published 8:30 PM by Indika Marasinghe with 0 comment

දුක්‌ දෙන මිතුරා

අතහැරීම-01 
12 වැනි කොටස 
දුක්‌ දෙන මිතුරා


ලෝකය කියන්නේ දුකක්‌. ලෝකය දුකක්‌ බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක්‌ විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිමරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන්දෙන්නේ, පිංකම් සිදුකරන්නේ, විවිධත්වය සොයායන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක්‌ නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන. ඔබ මේ මුළු විශ්ව ධාතුවේම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම සෙවුවද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස්‌වලින් සෑදුණ, නිරතුරුව වෙනස්‌වන රූපයක්‌ මිසක්‌ වෙන දෙයක්‌ හමුවන්නේ නැහැ. මම, අපි, ඔබ..... මෙහෙම කෙනෙක්‌ කොතැනකදිවත් හමුවන්නේ නැහැ. මෙතෙක්‌ ඔබ 'මම, අපි, ඔබ' කියා කෙනෙක්‌ මුණගැසී ආශ්‍රය කර ඇත්නම් ඒ හැමදෙනාම නිරතුරුවම ලෙඩට, වයසට, මරණයට පත්වූ, එහෙම නැතිනම් පත්වෙන පිරිසක්‌. ඔබේ සීයා, ආච්චි, ලොකු තාත්තා, ලොකු අම්මා, අම්මා, තාත්තා මැරිලා යනකොට පුතා, දුව, මුනුපුරා, මිනිපිරී ලොකු මහත් වෙනවා. කුමක්‌ සඳහාද?

කවදාහරි දවසක ආච්චිලා සීයලා වීම සඳහා.

ඔය චක්‍රය වටේ අපි දිව යනවා. අපට ගැලවිල්ලක්‌ නැහැ. චක්‍රය කියන්නේ ලෝකයයි. ලෝකය තුළ සත්වයා දුවනවා. මෙය චක්‍රයක්‌ නිසා ඉන් පිටවෙන්න කාටවත්ම බැහැ. ඔබට මේ ලෝකයෙන් ගැලවෙන්න අවශ්‍ය නම් චක්‍රයම නිවාදමන්න ඕනෙ. මේ චක්‍රය තුළ දුවනකොට අපට ලෝකය සුන්දර බව පේනවා. සත්තකින්ම ලෝකයේ සුන්දර බවක්‌ තිබෙනවා. එය ඔබට පෙනෙනවා, ස්‌පර්ශ කරනවා, විඳිනවා. රාත්‍රී අහස දෙස බලන්න. එහි රශ්මි වළල්ලක්‌ සහිතව පායන පුරසඳ, නැතිනම් වැහි අහසේ පායන පාට පාට දේදුන්න. සති අන්තයක කතරගම, අනුරාධපුර පූජා භූමි මතකයට ගන්න. තරු පහේ හෝටලයක, සමාජ ශාලාවක රාත්‍රියේ තිබෙන අසිරිය....

ඔබ මේවායේ මොනතරම් ආශ්වාදයක්‌ අත්විඳිනවාද? ඔබ මේ සුන්දරත්වය කියලා දකින්නේ අනිත්‍යයි. මොකද මේ හැමදෙයක්‌ම මොහොතින් මොහොත වෙනස්‌වන නිසා. මේ මොහොතේ පවතින ස්‌වභාවය, ඊළඟ මොහොතේ වෙනස්‌වන නිසා ඇතිවන විවිධත්වය තමයි ඔබට මේ සුන්දරත්වය ඇති කරන්නේ. මේ රූප අනිත්‍යභාවයට පත්නොවී නිත්‍යභාවයේ පවතිනවා නම් ඔබට ඒවායේ විවිධත්වයක්‌ පෙනෙන්නේ නෑ.

මේ විවිධත්වය, චමත්කාරය ඔබට දැනෙන්නේ රූපය අනිත්‍යභාවයට පත්වන නිසාමයි.

රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මන්ද, සිතක්‌ සකස්‌ වෙන්නේ රූප දෙකක්‌ පස්‌සය වීම නිසා. අභ්‍යන්තර- බාහිර රූප දෙකක්‌ පස්‌සයවීම නිසා සකස්‌ වන සිතද අනිත්‍ය වීම හේතුවෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්‌වභාවයක්‌ දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්‌සයෙන් උපදින දරුවා තමයි සිත. අම්මා, තාත්තා වගේම දරුවා තුළ ඇත්තේද වේගයක්‌ පමණක්‌මයි. අම්මා, තාත්තා මැරුණහම අපි බිරිඳ දූ දරුවන් මගේ කරගන්නවා වගේ සිතත් අනිත්‍යභාවයට පත්වන විට තව තව සිත් පරම්පරාවක්‌ සකස්‌ කර ගන්නවා. සිත් සකස්‌කිරීමට හේතුවන අභ්‍යන්තර ආයතන හය හරියට කර්මාන්ත ශාලා හයක්‌ වගේ. 24 පැයේම ක්‍රියාත්මකයි. භාහිර රූප මේ කර්මාන්ත ශාලාවට යොමුවූ සැණින් නිෂ්පාදනය සූදානම්. ලෝකයේ වේගවත්ම නිෂ්පාදන ධාරිතාවය මෙම ආයතන හය සතුයි. බාහිරින් ප්‍රවාහනය කරන අමුද්‍රව්‍ය වන බාහිර රූප, ආයතන හයෙන් එකකට ලැබුණ සැණින් නිෂ්පාදනය (නිමි භාණ්‌ඩය) සූදානම්. නිමි භාණ්‌ඩය තමා සිත. ප්‍රඥාවෙන් තොරව ඔබට මේ ගැන සිතන්නටවත් බැරි තරමට සංකීර්ණ ක්‍රියාවලියක්‌ මෙය. ලෝකයේ සංකීර්ණ බව ඇතිවෙලා තියෙන්නේ සිත් සකස්‌වීමේ වේගවත් ක්‍රියාවලිය නිසාය. තණ්‌හාවේ ප්‍රමාණය අනුව මේ කර්මාන්තශාලාවේ ඉල්ලුමට සැපයුම ස්‌ථිරව සපයනවා. නිෂ්පාදනය වැඩි වන්න වැඩි වන්න සංකීර්ණ බව වැඩිවනවා. මේ සංකීර්ණ බවට භෞතික දියුණුව කියලා කියනවා. ස්‌වභාවිකත්වය විනාශකොට කොන්ක්‍රීට්‌ වනාන්තර ඉදිවන්නේ, ශීලාචාරකම විනාශකර අශීලාචාරකම බිහිවන්නේත්, මැදිහත්බව පරාජය කර තරගකාරීබව ඇතිවන්නේත් , ආධ්‍යාත්මික වටිනාකම් අභිබවා භෞතික වටිනාකම් පැතිරෙන්නේත් අනිත්‍යභාවයට පත්වන සිත්වල සංකීර්ණ බව නිසාමයි. අවිද්‍යාව නිසා ඇතිවන මේ සංකීර්ණභාවයට ඔබ දාසයකු වනවා. ඔබව දාසභාවයේ, වහල්භාවයේ යොදවන්නේ තණ්‌හාව විසින්. අවිද්‍යාවේ තණ්‌හාවේ හැඩතල, ස්‌වරූපය, වර්ණය, රසය, ගුණය සකස්‌ වන සිත්වල ක්‍රියාකාරිත්වය තුළ මනාව පිහිටලා තිබෙනවා. අම්මා, තාත්තාගේ රුව ගුණ දරුවාට තිබෙනවා වගේ, අවිද්‍යාවේ හැඩතල ලෝකයාගේ ක්‍රියාකාරීත්වය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. අවිද්‍යාව, තණ්‌හාව ඔබව මුළාකරන මහා මගෝඩියන් දෙදෙනකු වගේ. ඔබ මේ ගමන ඉදිරියට යන්න යන්න ඔබට නම්බු නාම දෙනවා. පොහොසතා, කෝටිපතියා, මුදලාලි, පාලකයා, නායකයා, සභාපති.....

සමාජයේ විවිධ ස්‌ථරවල ඉහත කොටස්‌ ඉන්නවා. ගමේ කඩේ හිමිකරු 'මුදලාලි'. පිටකොටුවේ තොගකඩේ හිමිකරුත් 'මුදලාලි'. පන්ති භේදයකින් තොරව අවිද්‍යාව විසින් නම්බු නාම දෙනවා. 'අම්මෝ හරිම ගාම්භීරයි, ආඩම්බරයි, ශ්‍රේෂ්ඨයි. පිළිගැනීම ඉහළයි. මගේ මහත්තයා ලොක්‌කෙක්‌, විධායකයෙක්‌, මගේ මහත්තයට පැක්‌ටරියක්‌ තිබෙනවා. මගේ මහත්තයා ඇමරිකාවේ' හරිම උජාරුවට අපි කියනවා. මෙහෙම කියනකොට ඔබට නොතේරුණාට ඔබේ කට දෙකොනින් තණ්‌හාව, මමත්වය බේරෙනවා. ඒ කුණුකෙළටත් වඩා අප්‍රසන්නයි. ප්‍රඥාව වඩන කෙනකුට මෙය හරිම අප්‍රසන්න සිද්ධියක්‌ වෙන්න පුළුවන්. තමා ඉලක්‌ක කරන සැප සෑම මොහොතකම අනිත්‍ය වෙනවා. අහිමි වෙනවා. ගිලිහෙන, අහිමිවන වේගයෙන්ම ඔබ නැවත නැවත අයිතිකර ගන්න උපක්‍රම යොදනවා. සිත ඔබට නානාප්‍රකාර උපදෙස්‌ දෙනවා. හරියට මුදලට වහල්වෙච්චි නීති උපදේශකයෙක්‌ වගේ. සිත දන්නවා කෙසෙල් මලත්, නෙළුම් මලක්‌ය කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැටක්‌ පැන්න ආච්චි කෙනෙක්‌ තරුණියක්‌ ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක්‌ ගැහැණියක්‌ කරලා පෙන්වන්න. මේවාට විශේෂඥ දැනුම සිතට තිබෙනවා. අවිද්‍යා ටියුෂන් පන්තියේ කල්ප සියක්‌ කෝටි ගණනක සිට තණ්‌හාවේ විෂය හදාරපු ඉව, ඇතිවෙමින් නැතිවෙන සිත් සමග ගලාගෙන යනවා.

ඔබ මැඩියෙක්‌ ගැන සිතන්න. එම සතා ජලයේද, මඩේද, ගොඩබිමද, නිවසේද, පීවත්වන්නේ එකම ස්‌වභාවයේය. මේ හැමතැනම සැපයි කියලා අල්ලාගෙන. සිතත් ඔය වගේම ලගින ලගින තැන සැපයි කියලා උපාදානය කරගන්නවා. සිත ඔබේ දුක්‌ දෙන මිතුරාය කියන්නේ ඔය නිසාය. මේ මිතුරා දෙස සැකයෙන් බලන්න. එවිට මේ මිතුරාගේ ගමන් බිමන් ගැන ඔබට හොඳින් දැනේවි, වැටහේවී. මොහු චපලයෙක්‌, දෙපිටකාට්‌ටුවෙක්‌, පෙරේතයෙක්‌. උම්මත්තකයෙක්‌ වගේම විටෙක සිල්වතෙක්‌, ගුණවතෙක්‌....

මේ දෙබිඩි චර්යාව ඔබට දර්ශනය වේවි. මෙවැනි දෙබිඩි මිතුරෙක්‌ ඔබට හමුවුවහොත් ඔබ ඔහුගෙන් ඈත් වෙනවා. පරිස්‌සම්වනවා නේද?

අන්න ඒ වගේ සිතේ දෙබිඩි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන්න. අනවශ්‍ය බරක්‌ නොගෙන හුදෙකලාවේ මේ අධ්‍යයනය කරන්න. එවිට ඔබට ජීවිතේ වෙනසක්‌ දැනේවී. ඔබ යමක්‌ හඳුනාගන්නා බව, සොයාගන්න බව ඔබට දැනේවි. ඔබේ ජීවිතේ සංකීර්ණ බව දුරස්‌ වේවි. ඔබට තිබෙන්නේ නැවත නැවත සිතේ අනිත්‍ය බව දැකීම පමණක්‌මය.


ඉන්ද්‍රජිත් සුබසිංහ



මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.
වැඩිවිස්තර
      edit

Saturday, July 5, 2014

Published 7:00 AM by Indika Marasinghe with 0 comment

පරණ පුරුදු


අතහැරීම-01
10 වැනි කොටස 
පරණ පුරුදු


මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි.තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!
අපි හැමෝම පැවිදි වෙන්නේ මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙන. එහෙම පැවිදිවෙලා ආරණ්‍යගතව කුටි හදන්න, පාරවල් හදන්න වගේ සංවර්ධන වැඩට යොමුවීම අභාග්‍යයකි.

ගිහිගෙදර ගෙවල් දොරවල් අතහැරලා පැවිදිවෙන්නේ අතීතයේ කළ දේවල් නැවත කරන්නට නොවේ. ගිහි කාලේ බාසුන්නැහේ පැවිදි වෙලා බාස්‌ වැඩේ කරනවා. ලේඛක මහතා පැවිදිවෙලා පොත්ලියනවා, අරක්‌කැමියා පැවිදිවෙලා මුළුතැන්ගෙයි දානය හදනවා.....

මෙය නොවිය යුතු දෙයක්‌.

අපි සිතන්න ඕනේ අපි පැවිදි වූණේ එවැනි සංවර්ධන වැඩ කිරීමට නොව සිත සංවර්ධනය කිරීමටය කියා. ඇයි සිත සංවර්ධනය කරන්නේ, සිත කෙළෙස්‌ වලින් ගරා වැටී ඇති නිසා. එහෙයින් නිවන් මගේ හික්‌මෙන ඔබ කළයුත්තේ ගොඩනැගීම නොව, කඩාදැමීමය.

සියලු කෙළෙස්‌ කඩා දැමූ කල අප ගමන් කරන්නේ නිවීම දෙසටය. ගිහි ජීවිතය පුරාවට අපි කළේ ගොඩනැගීමයි.

පවුල, ධනය, සම්පත්, සමාජ තත්ත්වය අපි ගොඩනැගූ කෙළෙස්‌ කන්දයි. අපි කළයුත්තේ එම බර එකිනෙක බිම තැබීමයි. එම බර බිම තබා ආරණ්‍ය සංවර්ධන බර ඔබ කරට ගන්නේ නම්, එයද කෙළෙස්‌ කන්දක්‌මය. අපි කළ යුත්තේ "කැහි ගෑනියදී, සොටු ගැහැනිය ගැනීම" නොව මේ දෙදෙනාම අතහැරීමය.

එසේ නොකළහොත් කැහි සහ සොටු වලින් ඔබව සංසාරික පීනස්‌ රෝගියෙක්‌ කරනු ඇත.

'ශාසනය රකින්න, ආරණ්‍ය දියුණු කරන්න'... මේවා මාරයාගේ ලස්‌සන අයිසිං තැවරූ කේක්‌ ගෙඩිය. ඔබ දක්‍ෂ විය යුත්තේ අයිසිං තවරා ඇත්තේ කේක්‌ ගෙඩියකට නොව ලෝදිය හැළියකට බව අවබෝධකර ගැනීමටය.

සංසාරය පුරාවට අපි ආරක්‍ෂා කළ ශාසන වල, අපි හැදූ, පූජාකළ කුටිවල, ආරණ්‍ය වල මහරහතන් වහන්සේලා ලක්‍ෂ ගණනින් වැඩ සිටින්නට ඇත. සුනිතලා, පටාචාරලා සෝපාක ලා වැනි අන්ත අසරණ අඩියක සිට පැමිණ, අරහත්වය ලබාගත් උතුමන්ද වැඩ සිටින්නට ඇත. එහෙත් අපි තවමත් කුටි, ආරණ්‍ය, ගල්වැටි බඳිමින් සිටින්නෙමු. ඔය ගඩොලින් ගඩොල බැඳෙන්නේ ආරණ්‍ය සංවර්ධනය නොව දුකය. නිවීමේ මඟ යනු ගඩොලින් ගඩොල ගලවා ඉවත් කිරීමයි. මේ දුක අපි ඊළඟ පරම්පරාවන්ටද උරුමකොට දෙන්නෙමු. ගිහි පිංවතුන්වද මේ කඹයේම දිගේලි කරමු.

වනය තිබෙන්නේ එළිකරන්නටවත්, ලස්‌සන කරන්නට වත් නොවේ. වනය ස්‌වභාවයෙන්ම පියකරුය. අප කළයුතේ අපේ හදවත් ධර්මයෙන් ලස්‌සන කිරීමයි. අපේ හදවත් අපිරිසිදු නම් වනය ලස්‌සන කරන්නට අපිට සිදුවේ. එහෙත් ඔබ කැමැති ආරණ්‍ය සංවර්ධනයට නම් ඔබ එම වනයේම මතු ආත්මයේදී රුක්‌ දෙවියෙක්‌ ,ආරණ්‍ය සුරකින දෙවියෙක්‌ වීමට පුළුවන. එය ඔබ කැමති දෙයම නිසා සතුටින් භාරගතයුතුය. ලෝකයේ ස්‌වභාවය විවිධය. ස්‌වභාවය විවිධත්වයට පත්වන්නේ අනිත්‍ය භාවය නිසාය. එහෙයින් විවිධත්වය ලෙස අප දකින්නේ අනිත්‍යයි. එය අවබෝධ කරගැනීම ධර්මය, අනිත්‍යය අවබෝධ කරගැනීමය.

ආරණ්‍යයක්‌, ශුන්‍යගාරයක්‌ තුළට නිවන් මග වඩන්නෙක්‌ යා යුත්තේ පරිසරයේ ස්‌වභාවය අවබෝධ කරගැනීමට මිස තම තමන්ගේ උවමනා එපාකම් වලට අනුව පරිසරයේ ස්‌වභාවය වෙනස්‌ කිරීමට නොවේ. එසේ කිරීමෙන් ඔබ ධර්මය අවබෝධකිරීම මඟහැර, ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා ඇත. අසනීපයට බෙහෙත් ගැනීමට රෝහලට ගිය රෝගියා කළ යුත්තේ රෝගයට බෙහෙත් ගැනීමයි.

ඔහු එය පසෙක තබා රෝගීන්ට උපස්‌ථාන කිරීමට යන්නේ නම්, ඔහුගේ රෝගය ඔහුව පිළිගනු ඇත. අවාසනාව වනුයේ වෛද්‍යවරයාත්, ඖෂධත් රෝහලත් තුනම තිබියදී ඔහු රෝගයෙන් මිය යැමයි. අපි කළ යුත්තේ බැළුම්බෝලයක්‌ වන් මිනිස්‌ දුවකගේ, තිරිසන් දුවකගේ, ප්‍රේත දුවකගේ ගර්භාෂ කුටියකට නැවත ගාල් කිරීමට නොව මේ කසල ගොඩේ නැවත ගාල් නොවීමට වගබලාගැනීමයි. එහෙත් ඔබ පතන්නේ ගර්භාෂ කුටියක්‌ නම් නොවරදවාම ඔබට එය ලැබෙනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ



මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.


වැඩිවිස්තර
      edit

Friday, July 4, 2014

Published 7:00 AM by Indika Marasinghe with 0 comment

සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාව යනු...

අතහැරීම-01
සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාව යනු...

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!
9 වැනි කොටස

ආහාර වේලක්‌ ඔබ මොන තරාතිරමකින් පූජාකළත්, එය පිළිගන්නා අයට මෙන්ම පූජාකරන්නාටද ලැබෙන්නේ මෙලොව පරලොව වශයෙන් අනිත්‍යයට පත්වෙන ආයුෂ, වර්ණ, සැප සහ බලයයි.

ප්‍රඥාව වඩවාගැනීමට ඉහත සියල්ලම සහයෝග වන්නේය.

එහෙයින් අප වෙහෙසිය යුත්තේ එක වේලද, දෙකද, නැතිනම් මාංශද නිර්මාංශද, පලතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ඨිගත වීමට නොව, ආහාර මොන ස්‌වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ නිරතුරුවම වයසට යන ලෙඩවෙන, මැරෙන කයක්‌ බව අවබෝධකර ගැනීමටය. ඔබ ගන්නා ආහාරයම ඔබව කවදා හරි දිනයක රෝගියෙක්‌ බවටද පත්කර ඔබව මරාදමනු ඇත. රෝගි බවට පත්වීමේ සියයට සියයක්‌ම හේතුව ආහාර වල අඩු වැඩි බවයි.

ඔබට හැකිනම් ඔබේ පාත්‍රයට පූජා කරන බත්, ව්‍යංජන, පලතුරු, කැවිලි එම ස්‌වභාවයෙන් නොදැක පාත්‍රයේ ඇත්තේ අසුචි, මුත්‍රා, සෙම්, සොටු දහඩිය ලෙස දකින්න. ඔබ වළඳන තැඹිලි, වතුර කෝප්පය මුත්‍රා කෝප්පයක්‌ ලෙස දකින්න. වළඳන සුදුළුණු ව්‍යංජනය ශරීරයෙන් පිටවන වාතයක්‌ සේ දකින්න. වළඳන කිරි කෝප්පය ශරීරයෙන් ඉවත දමන සෙම ගුලියක්‌ සේ දකින්න. ඒ ඔබ දකින්නේ වෙනසක්‌ නොව එම ආහාරයේ යථාස්‌වභාවයයි. ඇත්ත ඇති සැටියෙන්මයි. සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාවද එයයි. එසේ නොමැතිව ඇති පදම් කැමති කැමැති දේ වළඳා රාත්‍රි බුද්ධ වන්දනාවේ යෙදී ප්‍රත්‍යාවේක්‍ෂ ගාථා කීම නොවේ.

ඔබ ප්‍රත්‍යාවේක්‍ෂාව වැනි උතුම් ඉගැන්වීම් වලට විකට ඇඳුම් අන්දවන්නන් නොවිය යුතුය. මන්ද ඔබ අන්දවන්නේ ඔබටම නිසාය. ඔබේ රුචි අරුචිකම්, දිග පළල, වර්ණ ස්‌වරූපයන්ට අනුවම ඔබ මසාගන්නා ඇඳුම්වලට සරිලන චරිත ඔබට මතු සසරදී ලැබෙනු ඇත. එය ඔබේම තෝරාගැනීමයි. සඡ්Cධායනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනාකිරීමෙන් ලැබෙන දෙයක්‌ නොමැත. යමක්‌ ලැබිය හැක්‌කේ ක්‍රියාත්මකභාවය තුළින්මය.

ඔබ අදිටන් කරගන්න. දිව්‍ය ලෝක වල දිව්‍ය භෝජන, මනුෂ්‍ය ලෝකවල රාජ භෝජන, ප්‍රේත ලෝක වල සෙම සොටු, තිරිසන් ලෝකවල තණකොළ පුන්නක්‌කු, නිරයේ ගින්දර ආදිය මහපොළොවේ පස්‌ වලට ප්‍රමානාත්මකව රසබලා ඇති මම තවදුරටත්, රසයට "දිවට" ලොල් නොවේය යන සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාවට.

එසේ නොකොට අපි අහිංසක දායකයාගේ දානය, මාරයාගේ පොෂණය සඳහා යොදවන්නේ නම් අපි අපටම ණයකාරයන් වනු ඇත. අපිට එම ණයෙන් නිදහස්‌ විය හැක්‌කේ රසය හෝ ගුණය පසුපස යැමෙන් නොව, ආහාරයේ සහ ආහාරයෙන් පොෂණය වන කයේ ස්‌වභාවය පසුපස යැමෙන්ය. කප්පිය කුටියේ, වීදුරු අල්මාරියේ මෝල්ටඩ් මිල්ක්‌, පෝෂ්‍යදායී කිරිපිටි, ජාත්‍යන්තර නම් වලින් එන කෝපි වර්ග, එළවළු යීස්‌ට්‌ සාරයෙන් තැනූ පානවර්ග ආදී බෝතල් තිබුණද උගුරෙන් පහළට තේ හැන්දක ප්‍රමානයක්‌ ගිලගැනීමට බැරි දවසක්‌ අපට එළඹෙනු ඇත. ඔබ අද මේ යථාර්ථය අවබෝධ නොකරගත හොත් එදාට ඔබට මේ බෝතල් දෙස බලා කෙළ ගිළිමින් මිය යැමට සිදුවනු ඇත. කෙළ ගිලෙන්නේ තෘෂ්ණාව නිසාය.

රස සොයන, රස ඉල්ලන හිත අනිත්‍යවශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වුවහොත් කිසිදාක ඔබට අමුතුවෙන් ආහාරය ප්‍රත්‍යාවේක්‍ෂා කිරීමට අවශ්‍ය නොවනු ඇත.

ඔබ කැමතිම ආහාරයක්‌ නිතර නිතර ඔබට වැළඳීමට කැමැත්ත එන්නේ නම්, එම ආහාරය පිළුණු කසළ ගොඩක්‌, මළ මුත්‍රා වශයෙන් දකින්න. ඔබට අයිති නැති කැමැත්ත ඔබේ කරගැනීමට යැම හේතුවෙන් සසර ඔබ විඳි දුක්‌ කන්දරාවන්, වර්තමානයේ විඳින, අනාගතයේ විඳීමට සිදුවන දුක්‌ ගොඩත් මෙනෙහි කරන්න. ඔබට අයිතියක්‌ නැති ආගන්තුක සිතක්‌ නිසා මෙතරම් දුක්‌ කන්දරාවක්‌ විඳින, පෘතග්ජන භාවයෙන් මිදී බුද්ධෝත්පාද කාලයක ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

ආහාරයේ සුවඳ, ගිලෙන කෙළ, ඇතිවෙන සිත, දැනෙන රස අනිත්‍ය බවම සිතන්න. දායක පිංවතුන් පූජා කරන ප්‍රමානය, සශ්‍රික බව, විවිධත්වය ඔබ ඔබේ කර නොගන්න. පරිභෝජනයේදී ඔබ නිතරම ඔබේ සීමාව තුළ නවතින්න. කුසෙන් අඩක්‌ ආහාරද, කොටසක්‌ ජලයද, කොටසක්‌ හිස්‌වද තැබීම ඔබේ සීමාව කරගන්න. ඔබේ සීමාව තීරණය කරගැනීමට ශාස්‌තෘන්වහන්සේගේ ඉගැන්වීම්වලට මිස දායක පිංවතුන්ගේ කැමැත්තට ඉඩනොදෙන්න. මෙහි අදහස්‌ වලංගුවන්නේ මේ ආත්මභාවයේදීම නිවීම උදෙසා මඟ වඩන සත්පුරුෂයන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. කැමැති පිංවත් උතුමන් කැමැති ආකාරයෙන් වළඳන්න. එහෙත් සසරින් නිදහස්‌වීම බොහෝ දුර වීමට පුළුවන් බව සිහියෙන් යුතුව දකින්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ


මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.
වැඩිවිස්තර
      edit

Thursday, July 3, 2014

Published 7:30 AM by Indika Marasinghe with 0 comment

කුසගින්නද ආශිර්වාදයකි!


අතහැරීම-01
8 වැනි කොටස 
කුසගින්නද ආශිර්වාදයකි!

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!
නිවන් මඟ වඩනා භික්‍ෂුවක්‌ වනගතව වාසය කරන විට, පිණ්‌ඩපාතය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීම ස්‌වභාවිකය. එවැනි අවස්‌ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත යුතුය.

එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගතයුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක්‌, දෙකක්‌, තුනක්‌ ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක්‌ ලබාගැනීමට අවස්‌ථාව සලසාදෙයි. ඔබ කුසගින්නේ සිටින බව, සිටි බව ලෝකයා දැනගතයුතු නැත. සාක්‍ෂිකාරයාද, විත්තිකාරයාද ඔබම විය යුතුය. මන්ද ඔබ මේ පහරදෙන්නේ ඇසට නොපෙනෙන මාරයාටය. හරි ඉලක්‌කයටම පහරදුන්නොත් පරාජය වන්නේ මාරයාය. ඔබ මෙවර මාරයාට වඩා දක්‍ෂ විය යුතුය.මොකද සසර මෙතෙක්‌ ඔබට වඩා දක්‍ෂවී ඇත්තේ මාරයාය.

සමහර විට කුසගින්නේ අසිරිය ඔබ මෙතෙක්‌ විඳ නැතුව ඇත. ඔබ දන්නේ 'කුසගිනි වෙනවා, ආහාරගන්නවා' පමණක්‌ විය හැක. ඔය චක්‍රය අපගේ දිනචර්යාවේම කොටසකි. මුළු මහත් සත්ව ප්‍රජාවගේම ස්‌වභාවයයි. නිවන් මඟ වඩනා භික්‍ෂුව සමස්‌ත සත්ව ප්‍රජාවට වඩා වෙනස්‌ සත්වයෙකි. වෙනත් අරමුණක්‌ අධිෂ්ඨානයක්‌ කරා යන සත්වයෙකි.

ඉර-හඳ- තාරකා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව, හඳහන, හස්‌ත රේඛා බලා ලෝකයේ සිටින දක්‍ෂම ජෝතීර්වේදියා ඔබට කීවොත් 'තව වසර 50ක්‌ ඔබට ආයුෂ තියනවා' කියලා. ඔබට දීර්ඝායුෂ තියෙනවා කියා. ඔබ දින කිහිපයක්‌ ආහාර නොමැතිව ඉන්න. ඔබව මැරෙනවාමය.

ඇයි දන්නවාද? මේ කයට ආහාර නොදී කුසගින්නේ තැබුවහම හොඳට අවබෝධවෙනවා මේ කය ආහාර නිසාමයි පවතින්නේ කියලා. මේ කයට ආහාර නොදුන්නොත් ජීවන රේඛාව කොපමණ දිගට තිබුණත් ඔබ මිය යනවාමය. මේ ඔබ මහත් උජාරුවෙන් සරසාගෙන, මගේ කියා දරාගෙන සිටින කය. ආහාරයක්‌ නොදුන්නොත් මැරෙන කයක්‌, මෙය පිළුණු වන ආහාරයට අයිති කයක්‌. ආහාර නොදුන්නොත් මැරෙන කයක්‌, ඔබට අයිති, ඔබට පාලනය කිරීමට හැකි දෙයක්‌ නොවේ.

ඔබ ප්‍රඥාවෙන් බැලුවොත් හඳහන, ජ්‍යෙdතිෂ්‍යය, හස්‌ථරේඛා, නාඩි වාක්‍ය ඔබට මාරයා සසර දික්‌කර ගැනීමට අටවපු මාර උගුලක්‌ බව. මේ උගුලට ඔබ හසුවී නිවන් මඟට අවතීර්ණ වන එක කල්දමනවා. මම දන්න ඉතාමත් ගුණවත් සත්පුරුෂ නායක හිමිනමක්‌ ඉන්නවා, ඉහළ රැකියාවක්‌ හොඳ සමාජ තත්ත්වයක්‌ තරුණවියේදී අතහැරලා පැවිදිවෙලා. මුළින් නිවීම අරමුණු කරගෙන දැඩි වීර්යයකින් කටයුතු කරපු උන්වහන්සේට ජ්‍යෙdතීර්වේදියක්‌ ප්‍රකාශකර තිබෙනවා, ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නේ තව වසර 10ක පසුව කියලා. දැන් උන්වහන්සේ තමන්ට පාරමී මදිය කියලා ආමිසය පැත්ත දැඩිව වඩනවා. නිවන් මඟෙන් පිටට ගිහිල්ලා.

ශ්‍රද්ධාවෙන් සියල්ල අතහැරලා, දුෂ්කරම ආරණ්‍යයක බඩ ඉරිඟු කරල වළඳලා අරඹපු ගමන අද මාරයා නවත්වලා.

මාරයා ඔබට හඳහන, හස්‌ත රේඛා, නාඩි වාක්‍ය හරහා දෙන අනාගත වාක්‍ය ඔබ ඉරාදමන්න. අවබෝධ කරගන්නා මේ කය ආහාරය නිසාමය පවතින්නේ...ජයග්‍රහණය, උත්සහයත්, වීර්යයත් නිසාමයි සිදුවන්නෙ කියා.

ශරීරයේ ධාතු කොටස්‌ අතරින්, වායෝ ධාතුව ඉතාමත්ම හොඳින් පැහැදිළිව ඔබට අවබෝධ වන්නේ කය කුසගින්නේ තැබීමෙන්ය. කය නිරාහාරව තැබුවොත් ඔබට දැනේවී ආමාශය, උගුරු දණ්‌ඩ, මළමාර්ගය හරහා මොනතරම් වේගයෙන් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවාද කියලා. කය තුළ ආහාර නැති විට වායෝ ධාතුව සිත්සේ කය ආක්‍රමණය කරනවා. වාතය කුපිත වෙලා දඟලනවා. ඔබ කළයුත්තේ සතියෙන් ඒ දෙස බලා සිටීමමයි.

මේ අවස්‌ථාවේදී මාරයා ඔබට කියාවී, 'ඔබ මැරෙන්නද යන්නේ, ගෑස්‌ට්‍රයිටීස්‌ හදාගන්නද යන්නේ. හැදුනොත් හැමදාම දුක තමයි. කලන්තය හැදුනොත්?......'

මේ කිසිවකට ඔබ යටත් වෙන්න එපා. මොකද මෙසේ ඔබට කියන්නේ මාරයාමය. මාරයා යනු කෙළෙස්‌බරිත, කාම සැපයටම ලොල්වූ, ඇති වෙමින් නැති වන ඔබේ සිතය.

ඔබ එවිට මෙසේ සිතන්න. මම නිවන් මඟ වඩන භික්‍ෂුවක්‌, මේ කුණු කය මට අයත් දෙයක්‌ නොවේ යෑයි අවබෝධයෙන් අතහැරීම මඟවඩන භික්‍ෂුවක්‌. මේ කය මළත් මගේ අධිෂ්ඨානය අත්නොහරිනවාය කියලා. එවිට ඔබ මාරයාට එලව එලවා පහරදෙන භික්‍ෂුවක්‌ වෙනවාය. මෙසේ සිතමින් මාරයට පහරදෙමින් වායො ධාතුව තව තවත් අවබෝධයෙන් දකිමින් එහි අනිත්‍ය බව වඩනකොට, මාරයා බියට පත්වේවි මේ භික්‍ෂුව මාරයාට අහිමිවේවිද කියලා. එහෙම හිතලා මාරයා භික්‍ෂුවට චාටුවක්‌ දමාවී 'ඔබ මේ විදිහට නොකා ඉඳලා මළොත් නිවන් දකින්නනම් ලැබෙන එකක්‌ නෑ' කියලා.

බලන්න කපටි මාරයා නිවන ගැනත් කථා කරනවා. නිවන ගැන අනුකම්පාත් කරනවා. ඔබේ අරමුණ ගැන, මාරයාගේ ස්‌වභාවය ගැන ඔබ සිහියෙන්, සතියෙන් නොසිටියොත් මෙවර ඔබ මාරයාට කොටුවනවාමය.

මොකද "මළොත් නිවන් දකින්න බැරිවෙයි කියලා කියපු නිසා." මාරයා මෙසේ කීවත් ඔබ සිතන්නේ, ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සිතේ හටගත් සිතිවිල්ලක්‌ කියලා. නිවන් මඟ වඩන ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. මේ මාර උපක්‍රමවලට වැට බඳින්න. නමුත් බහුතරය මෙතැනදී පරදිනවා. මොකද 'නිවන' කියන වචනය මාරයා පාවිච්චිකළ නිසා. මාරයා කපටිකමටයි ඔය 'නිවන බැරිවෙයි' කියන වචන පාවිච්චි කරන්නේ.

හැබැයි ඔබ මෙතැනදී දක්‍ෂ වුවහොත්, මේ කය, මේ වේදනාව මගේ නොවෙයි කියලා, මේ වායෝ ධාතුවද මගේ නොවෙයි කියලා දකින්න. ඉනුත් ඔබ්බට ගිහිල්ලා මාරයා ඔබට කියූ නිවනද මට අයිති දෙයක්‌ නොවන බව දකින්න. නිවනට ඇති ආශාවද අයින් කරන්න. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ ඔබ නවතින්නේ නිවන් මඟේ උපරිම දුරක්‌ ගිහිල්ලා. හැබැයි උත්සහය, වීර්ය තිබෙන්න ඕනේ නිවීම උදෙසා මේ කය අතහැරීමට.

දැන් ඔබට තේරුනාද 'කුසගින්න ආශිර්වාදයක්‌' කියලා කීවේ ඇයිද කියලා. ඔබ එකවේලක්‌ හෝ නිරාහාරව සිටිය යුත්තේ ඒ තුළින් අවබෝධාත්මක ප්‍රඥාව වර්ධනය කරගැනීම සඳහා මිස හුදු ශිල්වත් බව සංකේතවත් කිරීමට නොවේ. මන්ද ශීලයද, ආහාරයද ඔබව සසරටම කැන්දාගෙන යන මාර බලවේග නිසාය.

ඉන්ද්‍රජිත් සුබසිංහ




මෙම ලිපි මාලාවේ සම්පූර්ණ ලිපියම PDF ෆයිල් එකක් ලෙස බාගත කරගන්න.
වැඩිවිස්තර
      edit