Saturday, September 20, 2014

Published 1:11 PM by Indika Marasinghe with 0 comment

ආනාපාන සති භාවනාව

ආනාපාන සති භාවනාව

භාවනා ක්‍රම දෙකෙකි. ශමථ භාවනා, විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ එකඟ බව සංසුන් බව වැඩෙයි. කෙලෙස් යට පත් වෙයි. සමහර ශමථ භාවනාවකින් උපචාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරෙකින් රූපාවචර අපර්ණා සමාධි තෙක්ද, සමහරෙකින් අරූපාවචර සමාධි අවසන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විදර්ශනා භාවනාවෙන් ලොව යථාතත්ත්වය දක්නා නුවණ වැඩෙයි. කෙලෙස් තුනී වෙවී ගොස් සෝතාපත්ති ආදී මාර්ග ඵල අවස්ථාවලට සිත වැඩේ. අවසනැ සියලු කෙලෙස් නසා රහත් බව පැමිණෙයි.
ආවරණ තුන
භාවනාවෙන් උසස් ඵල ලැබිය හැකිකේ කර්‍මාවරණ , විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සාහවතා විසිනි.
කර්‍මාවරණ යනු මවු මැරීම්, පියා මැරීම් ආදී ආනන්තර්ය පාපයක් කර ඇති බවය.

විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නො ලත් බවය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන මාර්ග ඵල කිසිත් ලැබිය නො හැකිය.
ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිත්‍යාදෘෂ්ටිකයෝත්, උභතෝව්‍යංජකයෝත්, නපුංසකයෝත්
පරිබෝධ
භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට දශ පරිබෝධ (භාවනාව වැඩීමට බාධක ව සිටින කරුණු දහය) දුරු කට යුතු වෙයි.
ආවාස යනු වාසස්ථානයයි. බඩු බාහිරාදියෙන් පිරුණු ගෙය නොයෙක් සම්බාධ ඇති එකෙකි. එ වැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.
කුල යනු නෑදෑ පිරිසය, උපස්ථායක (දායක) පවුල් ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීම ද යෝග කර්මයට බාධකයෙකි.
ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දැයි පින් ඇති ලාභී භික්‍ෂු නමට ගිය ගිය තැන් සත්කාර සම්මාන ලැබෙයි. උපාසක උපාසිකාවරු නානාවිධ පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. ගිහියාට ද නෑදෑ යහලු මිතුරන්ගෙන් නොයෙක් තෑගි බෝග ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියොත් භාවනාවට අවකාශ නො ලැබේ. යෝගියා ලාභ ලැබීමේ මං කෙරෙන් ඈත් විය යුතු.
ගණ යනු පිරිවර යි. පැවිද්දකුට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත්, නිතර පාහේ යම් යම් දෑ සඳහා සාකච්ඡාවට එන ගිහි පිරිසුත් ය. ගිහියාට සිය නෑදෑ පිරිස් ගනු දෙනු කරන්නෝ, මෙහෙකරු පිරිස් ආදීහු ය. ඉගැනුම් ආදිය සඳහා යම් යම් අය නිතර එන්නට වුවොත් යෝගියාට භාවනා අරමුණෙහි සිත රඳවා තබන්නට එය මහත් බාධකයෙක් වෙයි. පැවිද්දෙක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා එකලා විය යුතු. ගෘහස්ථයා ද දූ දරු ආදීනට තමා ගෙන් ඉටු වියැ යුතු දෑ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනකුට පවරා එකලා විය යුතු.
කර්මාන්ත යනු පැවිද්දකුට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දෑය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගෘහස්ථයා ද තමාගේ රැකියා කටයුතු අන් අයෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.
ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඈතකට යන්නට බැඳී සිටීමයි. එවැනි අවස්ථාවල දී ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ එය අන් කෙනෙකුට පවරා හෝ ඒ බරින් ද නිදහස් විය යුතු.
ඥාති යනු නෑදෑයෝ ය. මා පියෝ ආචාර්ය උපාධ්‍යායයෝ සහෝදර ආදීහුය. ඔවුනට තමා ගෙන් ඉටු විය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වග කීමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධාදියෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සප්පායම් කොට නීරෝග වූ පසුව තමා ගේ භාවනා කාර්යය ඇරඹිය යුතු. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සප්පායම් ආදිය කිරීමට සමත් විශ්වාසි කෙනෙකුට පවරා තමා ඒ බරින් නිදහස් ව භාවනා කර්මයට බැස්ස යුතු.
ආබාධ පරිබෝධය යනු තමාට වැළඳී ඇති ලෙඩකි. එයට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතු. සුවය ලැබීම දුෂ්කරවී නම් ‘මම මේ රූප ශරීරයට වහල් නො වෙමි’ යි ඉටා සිතට ධෛර්යය නංවා රෝගය මැඩ කමටහන් වැඩීමෙහි යෙදිය යුතු.
ග්‍රන්ථ පරිබෝධය යනු ධර්ම ශාස්ත්‍ර ඉගැන්ම යි. ඉගැනීමෙහි යෙදුණකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් භාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිඵල ලැබෙන තරමට දිගට ම එය පැවැත්විය නො හැක්ක. සෑහෙන තරම් දුරට ඉගෙන එයින් පසු කමටහන් වැඩීම පටන් ගත යුතුය. නැතහොත් ඉගෙන ගත් පමණින් සෑහීමට පත් ව, ඉගැනීම නතර කොට, භාවනා කර්මයට බැස්ස යුතු. පොත් පත් ලිවීම් ආදී කටයුතුත් මෙසේ ම අවසන් කොට හෝ නතර කොට භාවනා කර්මයට බැස්ස යුතු.
සෘද්ධි පරිබෝධය යනු විදර්ශනා වැඩීමට බාධක වූ ලෞකික සෘද්ධිය භ. රූපධ්‍යාන වඩා පරසිත් දැනුම් ආදී කිසි සෘද්ධියක් කෙනකු ලබා ගත්තත් එය පිරිහී යෑ නොදී නිතර සමාධියට සමවැදීම් ආදියෙන් දුක සේ රැක ගත යුත්තෙකි. ටික දිනක් සමාධිය වැඩීම අත පසු වුවොත් ඒ සෘද්ධිය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කෝපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිතෙහි මතු වුණත් එය නැති වී යෑ හැකියි. එය රැක ගන්නට සිතා රූපාවචර සමාධිය රැක ගැන්මේ ම ඇලී සිටිය හොත් විදර්ශනා භාවනාවට ඉඩ නො ලැබේ. එබැවින් එ වැනි කිසි සෘද්ධියක් ලබා ඇති යෝගියා එහි ඇල්ම හැර දමා විදර්ශනාව ඇරඹිය යුතු. සෘද්ධිබාධක වන්නේ විදර්ශනා වැඩීමට යි.
කල්‍යාණ මිත්‍රාශ්‍රය. මෙහි දැන් කී පරිදි බාධකයන් දුරු කොට භාවනා වඩනු කැමැත්තහු විසින් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබිය යුතු. කල්‍යාණ මිත්‍රාශ්‍රයය යනු භාවනා උපදේශ දෙන ගුරුවරයකු ඇසුරු කිරීම යි.
ප්‍රධාන ම කල්‍යාණ මිත්‍රයා, කර්මස්ථාන දෙන ආචාය¸වරයා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේයි. උන් වහන්සේ නැති තැන අසු මහා ශ්‍රාවකයන් ගෙන් කෙනකු ආචාය¸ කැරැගත යුතු. එසේත් කෙනකු නො ලදෝ අන් කිසි රහත් නමක ඇසුර ලැබිය යුතු. රහත් නමක්ද නොලදොත් සකෘදාගාමියකු ද, එසේ වූ කෙනකු නො ලදොත් සෝවාන් වූ කෙනෙකු ගුරු කොට ගත යුතු.
රහත්හු අනාගාමිහු සකෘදාකාමීහු සෝවාන්හු මම මෙනම් අධිගමයක්ලබා ඇත්තෙක්’මි යි අනුන්ට අඟවත් ද? නැත. එහෙත් විමසන්නා විදසුන් වැඩීමෙහි ලැදියාව ඇති කෙනකු බව දැන ගත්තොත්, ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආය¸ තත්ත්වය හෙළි කෙරෙත්. එබැවින් කමටහන් වඩනු රිසි යහුට ආර්ය පුද්ගලයකු ගේ ඇසුර ලබා ගත හැක්ක.
සෝවාන් වූ කෙනෙකුත් සොයා ගත නො හැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අතේ ගැඹුරු දැනුම් ඇති සිල්වත්, ගුණවත්, කාරුණික ආචාර්යවරයෙකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාර්යවරයා ගේ සැටිය විශුද්ධි මාර්ගයෙහි මෙසේ දැක්වේ.
“පියො ච ගරු භාවනිය්‍යො
වත්තා ච වචනක්ඛමො
ගම්භීරං ච කථං කත්තා
නො චාට්ඨානෙ නියෝජයෙ”

ඒ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් පි‍්‍රය වූ ගරු කටයුතු සම්භාවනීය කෙනෙකි. උපදෙස් දීමේ නො මැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙරුනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන ඇසුරු කරන ශිෂ්‍යා නො නිසි අතෙක නො යවන්නෙකි.
මෙහි කී ගුණාංවලින් යුත් උගත් ධර්මධර සිල්වත් ගුරුවරයකු ගේ ම ඇසුර ලබා ඔහු දෙන උපදෙස් අනුව භාවනා වැඩිය යුතු.’
අනාපාන සතිය වඩනු කැමැත්තහු විසින් එය වඩන සැටි ගුරුවරයා ගෙන් අසා දැන ගත යුතු. කොයි හැටියෙකිනුත් ගුරුවරයකු සොයා ගත නො හැකි වුවොත් භාවනා ක්‍රම පිළිබඳ විස්තර සදහන් පොත පත කියවා භාවනා මාර්ගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන එහි උපදෙස් අනුව බවුන් වැඩිය යුතුය. භාවනාව පටන් ගන්නට කලින් තමා හඳනා පොරෝනා වස්ත්‍රාදිය ශුද්ධ පවිත්‍ර කැර ගත යුතු.
ඊළඟට “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” යී කී පරිදි උවදුරු නැති ආරාණ්‍යයකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රුක් මූලකට හෝ කිසිම කෙනෙකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතු. එහි තමා ඉදීමට නියම කොට ගත් තැන අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කොට එහි ඉඳ ගැන්මට තණ ඇතිරියක් හෝ කොහු මෙට්ටයක් වැනි දැයක් හෝ අතුරා ආසනය සකස් කැරගත යුතු යි.
සමහරු දණ නමා බද්ධප¸ංකයෙන් හෝ හසරමිණීය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉඳිනු නො හැක්කෝ ය. පුටුවෙක ඉඳීම ඔවුනට පහසු ය. එවැන්නා කොන්ද කෙළින් සිටුනා ලෙසට හේත්තු වන පුවරුව ඇති පුටුවෙක කුදු නො ගැසී කෙළින් ඉඳ ගත යුතුය. ඇතිරිලියෙක, පැදුරෙක, මෙට්ටයක හෝ පලක් බැඳ හෝ හසරමිණිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටු කොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතු ය. “මගේ චිත්ත පාරිශුද්ධිය පිණිස ම මේ භාවනා වැඩීම කරමි”යි අධිෂ්ඨාන කළ යුතු.
මුළු කාලය ම භාවනායෙහි යෙදෙනු නො හැකි අය අඩු ම ගණනේ උදේ පැයකුත් සැන්දෑවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම භාවනාවට වෙන් කැරැ ගත යුතු ය.
ආරම්භය
භාවනා වඩන හැම කෙනෙකු විසින් ම පළමු කොට බුද්ධානුස්සතිය, ඊළඟට මෛත්‍රී භාවනාව ද, ඊළඟට අශුභ භාවනාව හෝ කායගතාසතියද, “ඊළඟට මරණානුස්මෘතිය ද ටික ටික වේලා ක්‍රමයෙන් වැඩිය යුතු.
බුද්ධානුස්සතිය යනු බුදු ගුණ මෙනෙහි කිරීමයි. බුදු ගුණ මෙනෙහි කරන්නහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් භක්තියක්, ශ්‍රද්ධාවක් ඇති වෙයි. එයින් සිත නීරෝගී වෙයි. බුද්ධ වචනය පිළි පැදීමෙහි ධෛර්යවත් වෙයි. “මා අත්බව භාග්‍යවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම භාවනාව වඩමි” යි උනන්දු වෙයි.
මෛත්‍රිය වැඩීමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි. ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් ඇති නොවෙයි. අශුභ භාවනාව හෝ කායගතාසතිය වඩන තැනැත්තෝ තමාට දක්නට ලැබෙන දිව්‍ය රූපයෙකින් වත් මුළා නො වෙයි. ඇතැම්විට මාර පාක්ෂික දෙවියකුට භාවනානුයෝගියකු දක්නට ලැබුණු විට ඔහු නො මඟ යවන්නට, දිව්‍ය ස්ත්‍රීන් පෙන්වීම්, දිව්‍ය ස්ත්‍රී වේශයෙන් පෙනී ඉඳ මිත්‍ර වෙන්නට කථා කිරීම ආදියෙන් ඔහු පොළඹ වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරමං කරන ඊර්ෂ්‍යා සහගත මිසදිටු භූතයෝ ඇත. අශුභ භාවනානුයෝගියා ඔවුනට නො රැවැටෙයි.
මරණාස්මෘතිය වඩන යෝගියා තමා නිතරම මරණය අතට ම ළං වන කෙනෙකු බව සැලකීමෙන් භාවනාවෙහි වඩාත් උනන්දු වෙයි. නොමඟට නො වැටෙයි. කුසිත නොවෙයි.
බුද්ධානුස්මෘති ආදී සතර කමටහන් වැඩීම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපාන සතිය වඩන්නට කලින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටික වේලා වැඩිය යුතු. එයින් පසු ආනාපාන සතිය වැඩීම පටන් ගත යුතු. ආත්මසන් නිර්යාතනය භාවනා වැඩීමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට හෝ කර්‍මස්ථාන දෙන ආචාර්ය වරයාට සිතින් පරිත්‍යාග කළ යුතු.
සමහර විට භාවනාවෙහි යෙදී ඉන්නහුට භයානක අරමුණු පෙනෙන්නට වෙයි. ඒ එ බඳු අවස්ථායෙහි දී “මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පරිත්‍යාග කෙළෙමි.”යි හෝ “මගේ ආචාර්යපාදයනට පවරා ඇත්තෙමි”යි නොසලකා බිය නො ගෙන ඒ පෙනුණු දෑ ගැන තැකීමක් නො කොට ඒ අරමුණු නො තකා හැර භාවනාව දිගට ම කැරැගෙන යැමෙහි සමත් වෙයි.
ආනාපාන සමාධිය
ආනා යනු ආශ්වාස වායුව යි. ආපන යනු ප්‍රශ්වාස වායුවයි. මෙය අරමුණු කොට භාවනා වඩන්නහු විසින් පළමු කොට ශීල විශුද්ධිය ඇති කැරැ ගත යුතු යි. භාවනානු යෝගියා ගිහියෙක් වී නම් පන්සිල්, අටසිල්, දසසිල්, යන තමා රිසි ශීලයක් සමාදන් ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතු යි. පැවිද්දෙක් වී නම් පැවිදි සිල්හි මැනවින් පිහිටා පිරිසුදු වියැ යුතු.
සතිපට්ඨාන සූත්‍ර දෙක්හිත් (මැදුම් සඟියේ) ආනාපාන සති සූත්‍රයේත්, ආනාපාන සතිය සදහන් කරන අන් තන්හිත් භාවනාරම්භය දක්වන භාග්‍යවතුන් වහන්සේ” සො සතො ව අස්සසති සතො’ව පස්සසති’යි වදාළ සේක. එහි අදහස “හේ සිහි ඇත්තේ ම හුස්ම (ඇද ) ගනී. සිහි ඇත්තේ ම හුස්ම පිට කෙරෙයි’ යනු යි.
මේ පළමු අවස්ථායෙහි ඇතුල් වන හුස්මත්, පිට වන හුස්මත් වැදෙන තැන විමසා දැන එහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දිග අයගේ ඇතුල් වන හුස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාසාග්‍රයේ ය. (නාසයේ අග ය) හුස්ම පිට වීමේ දී අන්තිමට ම හැපෙන්නේ ද නාසිකාවේ අගය.
නාසය හුස්ම (කොට) අය ගේ හුස්ම ඇතුල්වීමේ දී මුලින් ම හැපෙන්නේත්, හුස්ම පිට කිරීමේ දී අන්තිමට ම හැපෙන්නේත් උඩුතොලෙහි ය. යෝගාවචරයා තමාගේ හුස්ම ඇතුල් වීමේ දීත් පිට වීමේ දීත් එය හැපෙන තැන විමසා දැන එය අරමුණු කළ යුතු. හුස්ම ගැනීමට වත්, පිට කිරීමට වත් උත්සාහ නො කළ යුතුයි. ස්වභාවයෙන් ම (ඉබේම) සිදු වන හුස්ම ඇතුල් වීමටත්, පිට වීමටත් එසේ සිදු වන්නට ඉඩ දී තමා ඇසි පියා ගෙන ඒ හුස්ම ඇතුල් වීමේ දී මුලින් ම හැපෙන තැනත්, පිට වන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතු.
එහි සිත පිහිටුවා එළඹැ සිටි සිහියෙන් යුතු ව සිතින් එය සැලකිය යුතුයි. සිතට නො දැනී කිසි ම හුස්මක් ඇතුල් වන්නට හෝ පිට වන්නට නොහැකි වනුවට නිතරම එළැඹ සිටි සිහියෙන් මනැසින් හුස්ම දෙස බලා ගත්වන ම හින්ද යුතු. අන් කිසි ම අතකට සිත නො යවා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මුල දී ඉඳ හිට අන් අතකට හිත යන්නට පුළුවන. එසේ වන්නේ එළැඹ සිටි සිහිය නැති වීමෙනි.
සිතේ එකග බව දුබල හෙයිනි. සිහිය උපදවා ගෙන යළිත් සිත හුස්ම හැපෙන තන්හිම පිහිටුවිය යුතු. සමහර කෙනෙකුට පැය කීපයකින් ද හුස්ම හැපෙන තන්හි ම කැමැති තාක් කල් සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇතිවේ. පෙර අත්බව්හි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අටකින් වුව ද සිත හුස්ම වැදෙන තන්හි ස්ථිර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙරැ ළඟ අත් බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්‍ෂිප්ත නො වන සේ ටික වෙලාවක් එක් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගණනක් වුවද ගත විය හැක්ක. හුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නොසැලී පිහිටා සිටීම හරි ගිය පසු මේ භාවනාවේ ඊළඟ ක්‍රියා මාර්ගය ඇරඹිය යුතු.
ගණනාව
මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීම යි. හුස්ම ගන්නා වාර පමණක් හෝ හුස්ම පිට කරන වාර පමණක් ගණන් කළ යුතු යි. ඒ දෙක ම මිශ්‍ර නො කළ යුතු යි. එය කරනුයේ මෙසේ යි.
හුස්ම ඇතුල් වන වාර ගණිනු කැමැති නම් ඇතුල් වන හුස්ම නාසය අග හෝ උඩු තොලෙහි හැපුණු විට “එක “යි සිතින් ගිණිය යුතු. ඊළඟ වාරයේ එ තැන හුස්ම හැපෙන තුරු ම ‘එකයි එකයි එකයි’ සිතින් ගණිමින් එ තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. එ තැනින් වෙන අතකට සිත නො යන ලෙසට එළැඹි සිටි සිහියෙන් යුක්ත විය යුතු. ඊළඟට එ තැන හුස්ම ඛ්ැපුණු විට ‘දෙකයි දෙකයි (සිතින්) කිය යුතු යි.
තුන්වන වර හුස්ම එහි හැපෙන තුරු ම මෙය කළ යුතු. මෙසේ පස් වන වාරය තෙක් හුස්ම හැපෙන වාර ගණන් කළ යුතු. මේ පළමු වටය යි. ඊළඟට නැවතත් “එකයි එකයි” සිතින් කියමින් වන හුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතත් “එකයි “ කියා ගිණීම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතු යි. මේ තුන් වන වටය යි” යළිත් “එකයි එකයි” යන්නෙන් ගිණීම පටන්ගෙන අට වන වාරය තෙක් ම යැ යුතු. මේ සතර වන වටය යි. නැවත එකේ සිට ගිණීම පටන් ගෙන නව වන වාරය තෙක් යෑ යුතු. මේ පස් වන වටය යි. නැවතත් එකෙන් පටන් ගෙන දස වන වාරය තෙක් ගිණිය යුතු. මේ හයවන වටය යි.
හයවන වටය සම්පූර්ණ වූ විට යළිත් මුලට යෑ යුතු යි. පළමු සේම “එකයි එකයි” ගනිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතු යි. ඒ පළමු වටය යි. මෙසේ තවත් වට සයක් ගිණිය යුතු. මේ නයින් වට සයෙන් සය සපුරමින් හැකිතාක් වේලා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මේ අන් අතේ යැ නො දී සිත එක් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායෙකි. මේ ගිණිමේ දී ඉඳ හිට සිත අන් අතෙක ගියොත් ඒ තව ම සිතේ සමාධිය හොඳට වැඩි නැති බවට ලකුණෙකි. ගිණිමෙහි යෙදී ඉන්නා තාක් සිත හුස්ම හැපෙන තැන ම නො සැලී සිටී නම් එයින් පසු ගිණිම නතර කොට අනුබන්ධනාව පටන් ගත යුතුයි.
අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදීත්, පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැති ව හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළැඹ සිටි සිහියෙන් යුක්ත වීම යි. මේ අවස්ථාවෙහි හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි.


හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ඇතුල් වන පිට වන හුස්ම ගැන සෝදිසිමත් විය යුතු. හුස්ම හැපෙන තැන එය වැදීම ද ඊළඟ අවස්ථාව ද එ තැනින් පිට වීම දැයි එහි මුල මැද අග පැහැදිළි ව දැනෙන්නට වෙයි. සිතැ එකඟ බවවෙත්, එළඹැ සිටි සිහියෙත් දියුණුව නිසා ඒ දැනීම ඇති වෙයි. වාර ගිණීමේ සිට හුස්මෙහි ඕලාරික බව අඩු වී ගොස් අන්තිමේ දී හුස්ම වැටීම නො දැනෙන තරමට සියුම් වේ. හිත කය දෙකේ ම හෑල්ලු බවෙක් දැනෙන්නට වෙයි. සිරුර ඉහළ නැගෙන්නා සේ හෝ අහසේ පාවෙන්නා සේ දැනෙන්නට වෙයි.
මේ අවස්ථාවේ දී නාසිකාග්‍රයෙහි හෝ උඩු තොලෙහි (කලින් හුස්ම හැපුණු තැන) අරමුණු කොට හුස්ම පැහැදිලි ලෙස දක්නට යළිත් උත්සාහ කළ යුතු. මෙසේ සිහියෙන් නුවණින් එ තැන සිතින් මෙනෙහි කරන විට යළිත් හුස්ම වැටීම දැනෙන්නට වේ.
මේ අවස්ථාවෙහි ඔහුට උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වේ. ඉඹුල් පුළුන් පිඩක් හෝ කපු පුළුන් පිඩක් හෝ වායුධාරාවක් (කලින් හුස්ම හැපුණු තන්හි) හැපෙන්නා සේ දැනෙන්නට වේ.
මෙ තැන් සිට සිත බැඳ තැබිය යුත්තේ උද්ග්‍රහ නිමිත්තෙහි ය. එය අතුරුදහන් විය නො දී යළි යළි එය සිහි කරමින් එහි ම සිත රැඳවිය යුතු. මෙසේ කරන විට ක්‍රමයෙන් කෙලෙස් සංසිදෙයි, යට පත් වෙයි.
ප්‍රතිභාග නිමිත්ත පහළ වෙයි. පුළුන් පිඩක් හෝ වායුධාරාවක් හැපෙන්නා සේ හැඟුණු තැන තාරකාවක් හෝ තාරකා රැසක් හෝ මුතු ඇටක් හෝ මුතු රැසක් හෝ කපු ඇට රැසක් හෝ පුළුල් වලාකුළක් හෝ මල් දමක් හෝ නෙළුම් මලක් හෝ ඉරුමඩල සඳමඩල වැන්නක්, රියසකක්, දුම් සිළුවක්, ලී කූරක් හෝ ගෙතූ දික් නූලක් බඳු දැයෙක් පෙනෙන්නට වේ. මේ ප්‍රතිභාග නිමිත්ත ය. උඩ කී පරිදි ප්‍රතිභාග නිමිත්ත එක එක් කෙනාට වෙනස් වෙනස් අයුරින් පෙනෙන්නේ ඔවුන් ගේ හැඟීමෙහි ;වනස නිසා ය.
උපචාර සමාධිය ප්‍රතිභාග නිමිත්ත පහළ වූ විට නීවරණයෝ යටපත් වෙත්, උපචාර සමාධිය ඇති වේ.
නීවරණයෝ නම්: කාමච්ඡන්දය (කාමාශාව), ව්‍යාපාදය (තරහව), ථිනමිද්ධය (චිත්ත චෛතසිකයන් ගේ මැලි බව), උඬච්ච කුක්කුච්චය (සිත නො සංසුන් බව හා කුකුස), විචිකිච්ඡාව (සැකය) යන පස යි.
මෙහි යෝගියාට හුස්ම ගන්නා කෙණෙහි ඇති වන සිත එකෙකි, ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටන සිත අනෙකෙකි, හුස්ම පිට කරන විට ඇති වන සිත අනෙකෙකි. මේ හැම එකෙකදී ම ඒවා අරමුණු කොට ඉතා ඉක්මනින් චිත්ත වීථින් ඇතිව නැති ව යන බැවින් එක් සිතෙකින් ම හුස්ම ගැන්මත්, ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටීමත්, හුස්ම පිට කිරීමත් කැරේ යැ යි වරදවා නො ගත යුතු. මේ තුන් අවස්ථාවෙහි ම සිත එළඹ සිටි සිහියෙන් යුතු ව ඒ ගන්නා හුස්ම ආදිය අරමුණු කෙරේ නම් ඔහු ගේ භාවනාව උපචාර අවස්ථාවට ද, අර්පණා (ධ්‍යාන) අවස්ථාවට ද වැඩෙයි.
‍්‍රතිභාග නිමිත්ත ඇති වූ කල්හි නිතර එළැඹ සිටි සිහියෙන් යුතුව එය නැතිවී යා නො දී රැක ගත යුතු වෙයි.
දුරු කළ යුතු සත අයෝග්‍ය වූ වාසස්ථාන, අයෝග්‍ය ගොදුරුගම, අයෝග්‍ය කථාසංලාප, අයෝග්‍ය පුද්ගලාශ්‍රය, අයෝග්‍ය භෝජන, අයෝග්‍ය ඍතුගුණය, අයෝග්‍ය ඉරියව්ව යන සතින් වෙන් විය යුතු.
අයෝග්‍ය වාසස්ථානය යනු යම් තැනෙක විසීමේ දී සිත එකඟ නො වේ නම්, භාවනා අරමුණෙහි සිත නො පිහිටා නම්, එ බඳු තැන යි. ‘මෙ තැන දී සිත එකඟ නො වේ’ යැයි යෝගියාට හැඟුණු විට එහි නො වැස අන් සුදුසු තැනක් සොයා යෑ යුතුයි.
අයෝග්‍ය ගොදුරු ගම යනු ආහාර පාන සුලභ නැති තැන යි. එය හැර ආහාර පාන පහසුවෙන් ලැබෙන තැනකට යෑ යුතු.
අයෝග්‍ය කථා සංලාප යනු තමා කරන භාවනාවට අදාළ නො වන අන් අන් දැය පිළිබඳ කතා බහය. ඒවා අසෙන විට භාවනා අරමුණෙන් ඈතට සිත යෑ හැකි ය. අන්‍ය විෂයයන් පිළිබඳ පොත පත ද නො කියැවිය යුතු.
අයෝග්‍ය පුද්ගලාශ්‍රය යනු භාවනානු යෝගි නො වූ භාවනා ක්‍රියාවට අනුබල නොදෙන නානාවිධ අන්‍ය කටයුතුවල යෙදුණාහුය. ඔවුන් ඇසුරු නො කට යුතුය ය.
අයෝග්‍ය භෝජන යනු තමාට රුචි නොවන, තම සිරුරට ද අහිත වූ ආහාර පාන යි. අහිතකර ආහාර පාන හැර හිතකර ආහාර පාන ලැබෙන, සැපයෙන සැටියක් පිළියෙළ කැර ගත යුතු.
අයෝග්‍ය ඍතුව යනු තම සිරුරට අහිතකර ශීතෝෂ්ණාදි ඍතු ගුණ යයි. ශීතය අධික නම් එ තැනින් ඉවත්විය යුතු. උෂ්ණ අධික නම් එයින් ද ඉවත්විය යුතු. තමාට ගැළපෙන සම ඍතු ගුණයක් ඇති පැත්තකට යෑ යුතු.
අයෝග්‍ය ඉරියව්ව ඉඳුම, සිටුම, සක්මන, සැතැපුම යනු ඉරියවු සතරයි. එහි ද යම් ඉරියව්වක් තමාට සැප නොවේ නම් එය හැර දමා සැප වූ ඉරියව්වෙකින් ම භාවනායෙහි යෙදිය යුතු.
දශ කුශලතා මේ අයෝග්‍ය දෑ සිතින් වෙන් ව සිතා එකඟ බව වැඩීමට උපකාරී වූ දැ දසය සපුරා ගත යුතු. එයින් පළමු වැන්න වත්ථු විසදතාව යි. සිරුර ද, හඳනා පොරෝනා වස්ත්‍ර ද පිරිසිදු කොට ගැන්ම යි.
දෙ වැන්න ඉන්ද්‍රිය සමතාව යි. ශ්‍රද්ධා ස්මෘති වීර්ය සමාධි ප්‍රඥා යනු ඉන්ද්‍රිය පස යි. මේ පසෙන් එකක් අනෙකක් යට පත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතු.
තුන්වැන්න නිමිත්ත කුශලතාව යි. ලබා ඇති ප්‍රතිභාග නිමිත්ත නැති වී යෑ නො දී රැක ගැන්මේ දක්ෂ බවයි.
සතර වැන්න සිත පසු බස්නට නො දී නඟා සිටුවීම යි. කිසි හේතුවෙකින් වීර්යය අඩු වී පසු බසී නම් ධම්මවිචය, විරිය, පීති යන තුන් බෝධ්‍යංගයන් වඩා සිත ධෛර්යවත් කිරීමයි.
පස් වැන්න වීර්ය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික වීර්ය නිසා සිතේ නො සංසුන් බව නැගෙයි. එවිට පස්සද්ධි, උපේක්ඛා, සමාධි යන බොජ්ඣංග වඩා වීර්ය යේ සමතාව ඇති කැරැගත යුතු.
ස වැන්න අරතිය මැඩලීමයි. කිසි විටෙක යෝගියා ගේ සිත භාවනායෙහි නො ඇලිය හැකි යි. එවිට ජාති, ජරා, චුති ආදි සංවේගයට කරුණු වන දැ මෙනෙහි කොට තෙරුවන් ගුණ සිහි කොට සිතේ ප්‍රසන්නතාව ඇති කැරගත යුතු.
හත් වැන්න සිත ශමථ භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට එය දෙස උපේක්ෂක ව බලා ඉඳීම යි.
අට වැන්න සමාධි භාවනායෙහි නො යෙදුණු වුන් ගෙන් වෙන් වීමයි.
නව වැන්න සමාධිලාභීන් විටින් විට ඇසුරු කිරීම යි.
දස වැන්න සමාධි භාවනාව ගරු කොට, එයට ම නැමී, අන් අතෙක නො ගොස් සමාධියට ම මුහුණලා පැවැත් ම යි.
මෙකී කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එකඟ බව වැඩිය යුතුයි. ඒත් ප්‍රථම ධ්‍යානය නො ලැබේ නම් නො පසු බැස එයට හේතුව විමසා බලා ආචාර්යෝපදේශයේ පිහිටා වීර්ය සමතාදිය සපිරිය යුතුයි. එවිට සිත අර්පණා අවස්ථාවට වැඩෙයි. අර්පණා ධ්‍යානය ලැබෙන තුරු ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වන තුරු ම දිවා රෑ දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතු. එයින් සිතැ අර්පණා ප්‍රාප්ත වේ. ප්‍රථම ධ්‍යානය ඇති වේ. සතර වන රූප ධ්‍යානය තෙක් ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම ඨපනා නමි.
ධ්‍යානාංග පස ප්‍රථමධ්‍යාන සිත විතර්ක විචාර ප්‍රීති සුබ ඒකාග්‍රතා යන ධ්‍යානාංග පසින් යුක්ත ය. එහි විතර්ක යනු සිත ප්‍රතිභාග නිමිත්තට ඔසොවා එහි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විචාර යනු ඒ ප්‍රතිභාග නිමිත්ත පුරා ම වැද ගෙන එය පිරිමදින්නාක් මෙන් එහි ම බැඳී යෙදෙන චිත්ත ගතියයි. ප්‍රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනා ගිය ගතිය ප්‍රීතිය යි. එසේ ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත තදින් වැද ගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛ නම් ධ්‍යානාංගය යි. ප්‍රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී එහි ම සිත ලැගී පැවැත් ම, ඒකාග්‍රතාව යි. එකඟ බව යි.
නීවරණ ප්‍රහාණය මේ ධ්‍යානාංග පස නිසා සිතේ නැගීමට හරස් වන කෙලෙස් පසෙක් යට පත් වේ. මතු විය නොහී අනුශය අවස්ථාවට වැටී හෙයි.
ඒකාග්‍රතාව නිසා සිත ප්‍රතිභාග නිමිත්තෙහි ම බැඳී සිටුනා බැවින්, අන් අතෙක නො යන බැවින් කාමච්ඡන්ද (කාමාශාව) මතු විය නොහී ගිලී යයි. ඒකාග්‍රතාව නිසා කාමච්ඡන්ද නීවරණය විස්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ. ප්‍රීතිය නිසා ව්‍යාපාදය (තරහව) යට පත් වේ. විතර්කය ප්‍රතිභාග නිමිත්තට සිත නැංවීම කරන නිසා ථිනමිද්ධ නීවරණයට (චිත්ත චෛතසිකයන්ගේ මැලි බවට) මතු විය නො හැක්ක. මෙය විතර්කයෙන් ථිනමිද්ධ නීවරණය විෂ්තම්භන වශයෙන් ප්‍රහීණ වේ යැයි කියන ලදී. ධ්‍යාන සිතේ ඇති මහත් වූ සුවය නිසා උද්ධච්චය (නො සංසුන් බව) හා කුක්කුච්චය (කුකුස) යන විරුද්ධ ගති යට පත් වේ’ මෙය සුඛ අංගයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය විෂ්තම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ යැ යි කියන ලදී.
විචාරාංගය ප්‍රතිභාග නිමිත්ත පිරිමදින බැවින් ප්‍රතිභාග නිමිත්ත ගැන හෝ එහි ධ්‍යාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ එ තෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ එයට මඟ ;පන් වූ ශාස්තෘහු ගැන හෝ එය පවසන දහම ගැන හෝ එය පිළිපන් ආර්ය සංඝයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විචාරාංගයෙන් විචිකිච්ඡා නීවරණය (සැකය) ප්‍රහීණ වේ යැයි කීයේ මෙය ඇරැබ ය.
මෙසේ විතර්කයෙන් ථිනමිද්ධය ද, විචාරයෙන් විචිකිච්ඡාව ද, ප්‍රීතියෙන් ව්‍යාපාදය ද, සුඛයෙන් උද්ධච්චකුක්කුච්චය ද, ඒකාග්‍රතායෙන් කාමච්ඡන්දය දැයි ධ්‍යානාංග පසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය සිදු වේ.
ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගියා පස් අයුරෙකින් එය තමාට වලංගු කැරැගත යුතු. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. පංච වශිතා යනු ආවජ්ජන,, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යනු වශිතා පස යි.
ආවර්නයට අනුව තමා කැමැති තැනෙක, කැමැති විටෙක රිසි ධ්‍යානාංග වලින් යුත් ධ්‍යානයකට සම වැදිය හැකි බව, කැමැති තාක් එහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවජ්ජන වසිතා නමි.
වහා සමවතට සම වැදිය හැකි බව සමාපජ්ජනා වසිතා යි. තමා ගේ අධිෂ්ඨානය අනුව ක්‍ෂණයක් හෝ වැඩි වේලාවක් ධ්‍යානයෙහි සිටිය හැකි බැව් අධිෂ්ඨාන වාසිතාව යි.
කැමැති විටෙක සමාපත්තියෙන් නැගී සිටිය හැකි බව වුට්ඨාන වසිතා යි. සමාපත්තියෙන් නැගී සිට සමවත් ධ්‍යානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීම පච්චවෙක්ඛණා වසිතාව යි.
සිය දහස් වර ප්‍රථම ධ්‍යානයට සම වදිමින් ඉන් නැගී සිටිමින් වසිතා පසින් ධ්‍යානය තමාට වලංගු කැරැ ගත යුතු. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට ප්‍රථම ධ්‍යානයේ දොස් පෙනෙන්නට වේ.
විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව, එය කාමච්ඡන්දා දී නීවරණවලට කිට්ටු බව, එයට නො සම වැදී ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයන් නැගී සිටිය හැකි බව යනාදි දොස් පෙනෙයි. විතර්ක විචාර දෙක නැති ව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්‍යානය ලබාගත හැකි වුවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්‍රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්‍රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්‍යාන සිත ඔහුට පහළ වෙයි.
ද්විතීය ධ්‍යානය ද වසිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැයි ඔහුට වැටහෙයි. එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්‍රතා යන අංක දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්‍යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වහීතායෙන් පුරුදු කැරැගත් විට එහිදළ බව ඔහුට පෙනෙයි.
උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්‍යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වසිතා පසින් තුන් වන ධ්‍යානය ද හුරු පුරුදු කැරැ ගත්තහුට ප්‍රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි.
උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ ධ්‍යාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම් සෘද්ධි විධඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිව කන යන අභිඥා පස ලැබීමට, ඒවා ලබත හැකි ක්‍රියා මාර්ගයට බැස්ස හැකි ය. සිත තව දුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්‍යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකි ය.
එහෙත් මේ රූප සමාපත්ති සතරත්, අරූප සමාපත්ති සතරත් යන අට ම ලෞකික, රූප ධ්‍යානවල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දී්ර්ඝ කාලයක් උන්නත් අන්තිමේ දී එයින්චුත ව මිනිස් ලොවට එන්නට සිදු වෙයි. ඍද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. එසේ උපන් අත්බව්හි පාපමිත්‍ර සේවනයෙන් පව් කොට ගැඩවිලකු ව උපදින්නට ද පුළුවන.
රූප ධ්‍යාන ලාභියාට වඩා අරූප ධ්‍යාන ලාභියාගේ ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූප ධ්‍යාන අරූප ධ්‍යාන මගින් කෙලෙස් යටපත් කළත්, අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමා වූ කවර විටක වුව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් උසස් වූවත් ලෞකික ය.
මෙසේ මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නො මිදුණු , ජාති ජරාදි දුකින් නො මිදුණු ලෝකයෙන් ගොඩ නැඟෙන්නට, ලොකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි.
අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්‍රත්ත්වයට, මොන ම දුකකටවත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නො ව විපස්සනා භාවනාව වැඩීමෙනි.
ම් බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.
ආනාපාන සති විපස්සනාව
මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකි ය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්‍යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකි ය.
ගණනා අනුබද්ධනා අවස්ථා :
කායෙසු කායඤ්ඤ තරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සසා - පස්සාසා (මහණෙනි, ඇතුල්වන හුස්ම, පිට වන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි) යන ආනාපාන සති සූත්‍ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි. එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනුනාම ධර්මයෙක් (චිත්ත චෛතසික) නො වේ. රූප රැසෙකි. පස් දිය සුළඟ හිරු රැස් සඳ රැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැර රූප කලාපයෙන් ම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජස් යන අටින් යුක්ත ය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි ආපෝ තේජේ වායු වර්ණ ගන්ධ රස ඕජස් ශබ්ද යන නවයෙන් යුක්ත ය.
පඨවි යනු තද ගති ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතිය ය. තේජෝ යනු ශීත ගුණයත්, උෂ්ණ ගුණයත් ය. වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නො හැකි සේ එකට බැඳී පවතිත්, පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි.
හිරුරැස්, සඳරැස්, අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල් ය. රශ්මියක් ඇඟට වැදෙන විට ම දැනෙයි. අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙනනේ තද ගතිය යි. පසෙහි තද ගතිය ප්‍රධානය. වතුර යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛ යි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛ යි. ගින්නෙහි ධාතු සතුර ම ඇතත් තේජෝ ධාතුව පුමුඛ යි. සුළඟෙහි වායු ධාතුව ප්‍රමුඛ යි.
හුස්ම යනු ඉතා සියුම් වූ රූප කලාප (රූප මිටි) රාශින් ගේ පරම්පරාවකි. එහි විසිරිය නො දී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි. එහි කිසි විටෙක ශීතය ද, කිසි විටෙක උණුසුම ද ඇති වනුයේ තේජෝ ධාතුව නිසා ය. හුස්මෙහි චලනය සිදු වනුයේ එහි ඇති වායු ධාතුවෙනි. ඇතුළට ඇදෙන ද,, පිට වන ද හුස්මෙහි ප්‍රධානියා වායු ධාතුවයි. මෙසේ හුස්ම යනු පෘථිවි ආදි සතර ධාතුන්ගේ මිටි රැසෙකි. සිරුර පුරා ම ඇති නානාවිධ සියලු ම වාතයෝ සතර ධාතුන්ගෙන් සෑදුණු රූප කලාප සමූහයෝ ය.


හුස්ම නම් කිමෙක් දැයි පරීක්ෂා කොට විමැසීමේ දී ඒ පඨවි ආපෝ තේජෝ වායු යන එකට බැඳුණු සතර ධාතුන්ගෙන් යුත් රූප කලාප සමූහයෙක් යැයි විමැසුම් නුවණට හොඳට වැටෙහෙයි නම්, පෙනෙයි නම් ඒ යථාත්ත්වය දැකීම, දැනීම නම් වේ. හුස්ම නම් වූ විශේෂ දැයෙක් ඇතැයි කියා හෝ හුස්ම ගන්නෙක්, පිට කරන්නෙක් ඇතැයි කියා හෝ සිතයි නම්, පිළිගනි නම් ඒ දැක්ම, ඒ පිළිගැන්ම සත්කාය දෘෂ්ටිය යි.
එක ම හුස්මක් නාසයෙන් ඇතුල් ව කයට පිවිස නැවත පිට මේ යැ යි පෘථග්ජන ලෝකයා සිතයි. ඇති සැටිය විමැසීමේ දී එය වැරැදි බව දැනෙයි. හුස්ම යනු තනි එක් දැයෙකැ යි පිළිගැනීම සත්කාය දෘෂ්ටිය යි. හුස්ම යනු ධාතු රූප මිටි පරම්පරාවෙකි. එහි හැම ධාතු රූප මිටියෙක් ම ක්‍ෂණයක් සිට නිරුද්ධ වෙයි. එයින් ලැබුණ රැකුල ද ඇතිව ඊළඟට ඒ වර්ගයේ ම අන් රූප මිටි රැසෙක් ඇති වෙයි.
එය ද ක්‍ෂණයෙක් බිඳෙයි. එයට අනතුරුව තව රූප මිටි රැසෙක් ඇති වෙයි. මෙසේ ක්‍ෂණයක් පාසා හැඳෙමින් බිඳෙමින් දිගින් දිගට යන රූප මිටි සමූහයන්ගේ පරම්පරා මිස හුස්ම නමින් ගත යුතු තනි එක් දැයෙක් මෙහි නැත. පිට වනුයේ ඇතුල් වුන හුස්ම නොවේ’ එහි පරම්පරාවේ පිට වන ක්‍ෂණයේ ඇති වූ හුස්ම රූප මිටි රැසෙකි. ඒ සියල්ල ක්‍ෂණභංගුර ය. ක්‍ෂණයෙන් බිඳෙන්නේ ය.
‘මම හුස්ම ගනිමි හුස්ම පිට කරමි’ යනු ඒකාන්ත සත්‍යය නොවේ’ලෝක සම්මුතිය අනුව ලෝකව්‍යවහාරය අනුව කරන කථාවෙකි. රූප මිටි පරම්පරාවෙකි. ක්‍ෂණයක් පාසා හැදෙමින් දිගට ම ඇති වන රූප කලාප පරම්පරාවෙකි. රූප සන්තතියෙකි යනු ම ඇත්ත ය. හුස්ම ‘මම’ යැ යි ගැන්ම හුස්ම ආත්ම කොට ගැනීමයි. ‘මම හුස්ම ගනිමි. ගැන්ම මගේ’ යැයි සිතුවොත් හුස්ම ආත්මීය වශයෙන් වරදවා ගැන්මයි. ක්‍ෂණයක් පාසා නැගෙන බිඳෙන, ‘හුස්ම’ යන නමින් වැහැරැවෙන හැම රූප මිටියක් ම ක්‍ෂණයෙන් බිඳෙයි, ක්‍ෂණභංගුරයි, අනිත්‍යයි’ මෙසේ සැලකීම ගණනා අවස්ථාවෙහි හුස්ම අරමුණු කොට අනිත්‍ය සංඥාව වැඩීම යි.
හුස්ම නැමැති රූප මිටි පරම්පරාව කිමෙක, කුමක් ආධාර කොට ගෙන එසේ පවතී ද? යි බැලිය යුතු. එය රූප ශරීරය ආධාර කොට ගෙන පවතී යැයි පෙනෙයි. රූප ශරීරය කවර නම් දැයින් යුක්ත දැයි රූප ශරීරය කොටස් කොට විමැසිය යුතු. රූප ශරීරය යනු කෙස්, ලොම්, නිය, දත් ආදි කුණු කොටස් තිස් දෙකක එකතුව මිස අනෙකක් නොවේ. කෙසේ නම් කවරේ ද? එය ද පඨවි ආදි සතර මහා භූ®තයන් ම වූ රූප කලාව මහ රැසෙකි.
එහි ද ක්‍ෂණයක් පාසා හැම රූප මිටියෙක් ම බිඳෙයි. ලොම් ද මහා භූතමය වූ රූප කලාප රැසෙකි. ඒ හැම රූප කලාපයෙක් ක්‍ෂණයෙන් බිඳේ. එය අනුව තව එකෙක් ඇති වේ. මේ සියල්ල කර්ම, චිත්ත, ඍතු ආහාර යන සතර හේතූන් ගෙන් ඇති වන දෑ ය. මෙසේ කේසාදි වූ කුණප කොටස් දෙතිසක් ම වූ ශරීරය ක්‍ෂණයක් පාසා හැදෙමින් බිඳෙමින් ගලන ගඟක් මෙන් දිගින් දිගට පවත්නා රූප පරම්පරා රැසෙකි.
අනුබද්ධනා අවස්ථායෙහි ද ඇතුල් වන පිට වන හුස්ම ද ඉහත ගණනා අවස්ථාවෙහි කී පරිදි ම හැදි හැදි බිඳි බිඳි දිගින් දිගට යන රූප කලාප පරම්පරාවෙකි.
ආශ්වාස ප්‍රශ්වාසයෙහි දී නාසය අගැ හෝ උඩු තොලෙහි හුස්ම හැපීමේ දී ඇති වන විඳීම (වේදනාව) නුවණින් බැලිය යුතු. ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකට ආධාර වූ කේශලෝමාදිමය වූ ඉතිරි මුළු ශරීරයේ ද කිසි තැනෙක කිසිවක් හැපීමේ දී ඇතිවන වේදනාව ද ඒ හැපීම නිසා ඇති වන ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයෙකි.
එය ද හැම විට ම එකක් ම නොවේ. ඒ ඒ ක්‍ෂණයෙහි ඇති වෙවී නැති වෙයි. කිසි විටක සුඛ වේදනාව ද, කිසි විටෙක දුක් වේදනාව ද, කිසි විටෙක උපේක්ෂා වේදනාව ද ඇති වේ. මෙසේ ගණනා අනුබද්ධනා අවස්ථා දෙක්හි ඇති වන වේදනාව නුවණින් බැලීම වේදනානුපස්සනාව ය.
ඊළඟට ගණනා අනුබන්ධනා දෙක්හිම ‘මම හුස්ම ගනිමි’ යි හෝ ‘මම දික් හුස්මක් ගනිමි’ යි නැතහොත් ‘කොට හුස්මක් ගනිමි’යි ආදීන් සිත් ඇතිවේ. ඒ ඒ අවස්ථාවෙහි චිත්ත වීථියක් ඇති වේ. එක් රූප ක්‍ෂණයක් ඇතුළත චිත්තක්‍ෂණ 17 ඇති ව නැති වෙයි.
ඒ සිත් සරාග ද, වීතරාග ද යනාදීන් සැලැකීම චිත්තානුපස්සනායි. මේ උඩකී හැම අවස්ථාහිම ඇති ව නැති වන රූප ක්‍ෂණයෙන් බිඳී යන බැවින් අනිත්‍ය යැයි ද, වේදනා සියල්ල ද ක්‍ෂණභංගුර බැවින් අනිත්‍ය යැයි ද, ඒ අවස්ථාවෙහි ඇති වන සියලු සිත් ද ක්‍ෂණයෙන් බිෙඳන බැවින් අනිත්‍යයැ යි ද, එහෙයින් ම දුක් යැයි අනාත්ම යැයි ද ඒවා අනිත්‍යාදි වශයෙන් බැලීම ධම්මානුපස්සනායි.
ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තබන උපචාර අර්පණා (ප්‍රථමාදිධ්‍යාන) අවස්ථාවල දී ඒ සමාධියෙන් නැගී සිට සමවන් අවස්ථාව පිරික්ෂා බලමින් විපස්සනාව වැඩිය හැකියි.
සමාධියෙන් නැගී සිට ධ්‍යානාංගයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කළ යුතු ය. ඒ මගින් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුන ම වැඩිය හැකි ය.
මෙහි දී බෝඞ්‍යංගයන් වැඩෙන හැටි සැකෙවින් දැක වේ. ආනාපාන සතිය පටන්ගත් තැත් සිට ම සතිය (එළඹැවූ සිහිය) හැම මොහොතෙහි ම වඩ වඩා බලවත් වේ. ඒ සතිසම්බොජ්ඣංගය වැඩීමයි. එසේ ම ආශ්වාසාදින් නුවණින් පිරික්ෂා බැලීම ද ක්‍රමයෙන් වැඩේ. මේ ධම්මවිචය සම්බෝජ්ක්‍ඣංගයයි.
මුල සිට ම යෝගියා ගේ භාවනාවෙහි උත්සාහය වැඩේ. ඒ වීරිය සම්බොජ්ඣංගය වැඩීම යි.
ධ්‍යාන අවස්ථාවට භාවනාව දියුණු වූ පසු උපචාර ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන දෙක්හි දී ප්‍රීතිය බලවත් ව ඇති වේ. ඒ පීති සම්බොජ්ඣංගය යි.
පස්සද්ධිය නිසා සමාධිය වැඩේ. මේ සමාධි සම්බොජ්ක්‍ධංගය යි’ හුස්ම ගැනීමේදීත්, පිට කිරීමේදීත් චිත්ත චෛතසිකයෝ ඒ ඒ ක්‍ෂණයෙහි හුස්ම අරමුණු කෙරෙමින් නැගි නැගී බිඳීයෙත්. එහි ‘මම හුස්ම ගනිමි යි, පිට කරමි යි සිතීමක් මිස ‘මම’ යැයි වෙන්කෛාට ගත යුතු නො නැසී රැඳී සිටිනා කිසි දැයෙක් නැත. එය විමසනුයෙහි දී ඇති වන සතිය වීරිය ඤාණ යන ධර්මයෝ ද ක්‍ෂණික ව ඇති ව නැති ව යන චෛතසිකයෝ ය. මෙය මෙසේ දැකීම දිටඨී විසුද්ධිය ය. මේ චිත්ත චෛතසික රූප කෙසේ ඇති වේද? යි විමසීමේ දී පටිච්චසමුප්පාද ධර්ම ක්‍රමය සිතට පැහැදිලි වේ.
එයින් ශාශ්වත උචෙඡද දෘෂ්ටි ද සජීවාජීව සියල්ල දෙවියකු ගේ හෝ බඹකු ගේ නිර්මාණයෙකැයි යන දෘෂ්ටිය ද සියල්ල පෙර අත්බව්හි කළ දෑවල ම විපාක යැ යි යන පුබ්බේකන හේතුවාද දෘෂ්ටිය ද සියල්ල අධිච්ඡ සමුප්පන්නව (යදෘච්ඡා සමුත්පන්නව), හේතුවක් ප්‍රත්‍යයක් නැති ව ඉබේ හටගනිතැයි යන දෘෂ්ටිය ද යන මිථ්‍යා දෘෂ්ටි තුන දුරු වේ. අතීත තුන් කල්හි පැවැත්ම පිළිබඳ සැකය දුරු වේ. හෙවත් කංඛා විතරණ විශුද්ධිය ඇති වේ.
මෙයට පසු සංස්කාරයන් හෙවත් නාම රූප ධර්මයන් නානා සැටියෙන් පිරික්සා බලන යෝගියාට ඔහුගේ භාවනාමය පිරිසිදු සිතින් කය පුරා හට ගෙන පැතිරෙන චිත්තජ රූපකලාපයන් නිසා සිරුරෙන් එළිය විහිදෙන්නට වෙයි. සිතෙහි බලවත් ප්‍රීතිය නැඟෙතයි. සිතකය දෙකේ මහත් සංසිඳුණුබවෙක් දැනෙයි. බලවත් ශ්‍රද්ධාව ඇති වෙයි. බලවත් වීර්යයක් ඇති වෙයි. මහත් සුව පහසුවෙන් දැනෙයි.
නුවණ තියුණු වෙයි. ස්මෘති ශක්තිය ද ප්‍රබල වෙයි. තත්‍රමධ්‍යස්ථතා උපේක්ෂා ගුණය බලවත් ව නැගෙයි. ලබා ඇති දෑ කෙරෙහි බලවත් ව ඇලෙයි. සමහර යෝගියෙක් ‘මගේ විපස්සනා වැඩීම සමෘද්ධි වී යැයි. මම රහත් බව ලදිමි’ යි එයින් රැවැටෙයි. ‘කළ යුතු දෑ කොට නිම කෙළෙමි’යි විපස්සනා වැඩීම නවත්තයි. එයින් රහත් වූ යෙකිමි යි අධිමානයෙන් යුක්ත ව පෘථග්ජනාවස්ථයෙහි ම රැඳී හිඳී.
එහෙත් ආචාර්යය ආග්‍රය ලබමින් භවනා කරන යෝගියා මේ ඇති ආලෝකාදි දශය උපක්ලේශයෝ සි තේරුම් ගෙන ඒවා කෙරෙහි ඇල්ම හැර දමා යළිත් පළමු සේ ම නාම රූපයන් විවිධාකාරයෙන් බලමින් අනිත්‍ය දුඞඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ දැනීම වඩයි.
ආලෝක ප්‍රීති ආදි දශ උපක්ලේශයන් හැඳින ගෙන මේ නො ම¼ඟ යැ යි දැන නාම රූපයන් නානා නයින් තිලකුණට නගා විදර්ශනා ඥානය වැඩීමට බට අවස්ථාව මාර්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධි අවස්ථාවයි.
නාම රූපයන් තිලකුණට නඟා විදසුන් වඩන යෝගියාට නාම රූපයන් ක්‍ෂණයක් පාසා ඉපැදීමත්, නැසී යෑමත් ඉතා ප්‍රකටව දැනෙන්නට පෙනෙන්නට වෙයි. මේ උදයව්‍යයඥානය පහළ වීම යි.
නාම රූපයන්ගේ හටගැන්මත්, නැසීමත් නැවැත නැවැත විමැසුම් නුවණින් බලන යෝගියාට ඒ සියලු සංස්කාරයන්ගේ ක්‍ෂණික භංගය ක්‍ෂණික මරණය ඉතා බලවත් ව දැනෙන්නට, පෙනෙන්නට වෙයි. මේ භංග ඥානය පහළ වීම යි.
භංග ඥානය අනුව සංස්කාරයන් ගේ සැටි බලන යෝගියාට සියලු සංස්කාරයන් සියලු නාම රූපයන්, මරණය නම් දැයෙකින් ඇති වූවන්සෙයින් නාම රූපයන් ගේ ක්‍ෂණභංගුරත්වය ඉතා ප්‍රකට ව වැටහෙන්නට වීමෙන් ‘තමාය ආත්මභාවය’ යන නම් වලින් වැහැරැවෙන මේ නාම රූප වැල මහත් හයක්වැ, උවදුරක් වැ පෙනේනනට වෙයි. ලැව් ගින්නකට හසු වූවකුට සෙයින් මහත් බියක් ඇති වෙයි. මේ භය ඥානය යි.
නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.
නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.


නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.
නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.
නාම රූපයන් ගේ ආදීනව (දෝෂ) යළි යළි විමසා බලන ඔහුට නාම රූපයන්කෙරේ බලවත් කල කිරීම ඇති වේ’ හෙවත් නිබ්බිදා ඥානය පහළ වේ.
මෙසේ සංස්කාරයන් කෙරෙහි කල කිරුණු යෝගියාට මෙයින් මිදී ගනිමියි, අසංඛත ඡාතුවෙහි පිහිටමි’යි යන දැනීම ඇති වේ. හෙවත් මුංචිතු කම්‍යතා ර්‍ථනය පහළ වේ.
මිදීමට කැමැත්ත ඒ සංස්කාරයන් ගේ තත්ත්වය තව තවත්, කලින් බැලුවාටත් වඩා විවිධ ආකාරවලින් පිරික්සන්නට වෙයි. එයින් පෙරටත් වඩා ත්‍රි ලක්ෂණ ප්‍රකට ව දකී. හෙවත් ඔහු තුළ පටිසංඛානුපස්සනාා ඥානය පහළ වේ.
ළඟට මෙතෙක් දුරට වැඩූ විපස්සනාවේ මුදුන් පත් අවස්ථාව ඇති වේ. මධ්‍යස්ථ වශයෙන් සංස්කාරයන් පිරික්සා බලන යෝගියා විපස්සනාවේ කෙලවරට පත් වේ. පෘථග්ජන අවස්ථාවෙන් ගොඩ නැගී ලෝකෝත්තර තත්ත්වයට ළං වන අවස්ථාවට පැමිණේ. ගොඩ සිට නැවකට නගින්නා ගොඩ එක් පයක් ද, අනිත් පය නැවේ ද තබයි. එමෙන් ම මෙතෙක් දුරට වැඩූ විදර්ශනා ඥානයට අනුකූල වූ ද, ඉදිරියේ ලබන මාර්ග ඥානටයත් අනුකූල වූ නුවණෙක් පහළ වෙයි. එය අනුලෝම ඥාන, සංඛාරුපෙක්ඛා විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යන නම් වලින් ද හැඳීන්වෙයි.
උදයව්‍යය ඥානය පටන් කොට අනුලෝම ඥානය අවසන් කොට ඇති වන මේ නව මහා විදර්ශනා ඥානයෝ පටිපදා ඤාණ විසුද්ධි නමින් හැඳින්වෙත්.
අනුලෝම ඥානයට අනන්තර ව (එය ළඟට ම අතරක් නැති ව) ලෞකික ගෝත්‍රය (අවස්ථාව) ඉක්මැ ලෝකෝත්තර අවස්ථාවට සිත් පරම්පරාවේ නැගීම සිදු කිරීම් වශයෙන් ඒ තාක් ම අරමුණු කළ සංස්කාරයන් අත්හැර එකෙණෙහි ප්‍රකට වූ නිර්වාණ අරමුණෙහි එල්බෙමින් ගෝත්‍රභූ ඥනය පහළ වේ. ඊළඟට ම ඒ නිවන් අරමුණේ ම එල්බ සෝතාපත්ති මග්ග ඤාණ සිත ඇති වේ. සංස්කාරයන්ගේ දුඞඛ ස්වභාවය තතු සේ දැකීම.
සමුදය ප්‍රහාණය හෙවත් අවිද්‍යාතෘෂ්ණා දෙකේ අවයව වූ සක්කාය දිට්ඨි සිලබ්බත පරාමාස විචිකිච්ඡා යන කෙලෙසුන් මුල් සුන් කිරීම හා ඉතිරි කෙලෙසුන් දුබල කිරීම, නිරෝධය ප්‍රති්‍යක්ෂ කිරීම හෙවත් නිවන දැකීම, මාර්ගය වැඩීම (සම්මා දිට්ඨි ආදී මාර්ගාංග අට මුහුකුරා එක ම සිතේ පහළවීම) යන සතර කෘත්‍යය මේ පළමු වන මාර්. (ලෝකෝත්තර) කුසල් සිතින් සිදු කැරෙයි. සක්කාය දිට්ඨි ආදි කෙලෙසුන් මුලින් ම නැසී යන්නා හා ම කාමච්ඡන්දා දී නීවරණ පස මෙහි දී විෂ්තම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ.
එ බැවින් වෙන ම ධ්‍යාන වැඩුවත් නොවැඩුවත් මේ සෝතාපත්ති මාර්ග සිත ප්‍රථමධ්‍යානයෙන් යුක්ත ම වේ’ මෙය විතක්කවිචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයෙන් යුත් සොතාපත්ති මග්ග චිත්ත යැ යි කියනු ලැබේ. මාර්ග සිත ක්‍ෂණයෙන් නිරුද්ධ ව එයට අනතුරුව එයට සමාන අංගවලින් ම යුත් සොතාපත්ති ඵල සිත දෙවරක් හෝ තුන්වරක් පහළ ව නිරුද්ධ වේ. එයින් කැරෙනුයේ මාර්ග සිත විසින් නසා දමන ලද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන කෙලෙසුන් නිසා සසර දී දිගට ම ඇති වෙවී ආ කෙලෙස් විඩාව සංසිඳී යෑම භ. මේ සෝවාන් වීමට දහම් ඇස (ධම්මචක්ඛු) පහළ වීම, නිවන් දැකීම යැයි බැවහර වේ.
තව ඉදිරියට යනු කැමැති යෝගියා යළිත් පළමු සේ ම නාමරූප විදර්ශනාව වඩයි. එය මුහු කළ විට පළමු සේ ම නව මහා විදර්ශනා ඡානයන් පළමු වාරයට වඩා බලවත් ව වැඩී ගොස් ඉතිරි කෙලෙස්වල ශක්තිය හීන කරමින් දෙවෙනි මාර්ග සිත හෙවත් සකෘදාගාමී මාර්ග සිතත්, ඊළ¼ඟට ම එලසිතත් දෙවරක් හෝ තුන්වරක් පහළ වේ.
මේ දෙවෙනි මාර්ග සිතට සකදාගාමී (සකෘදාගාමී) මග්ග චිත්තය යි ද, ඵල සිතට සකෘදාගාමී ඵල චින්ත යැ යි ද කියනු ලැබේ.
සකදාගාමී (සකෘදාගාමී) යන්නෙහි අර්ථය තව එක් වරක් එන තැනැත්තා හෙවත් කාමභවයෙහි එක් වරක් පමණක් උපදින තැනැත්තා යනු යි. ඔහු තුළ කාමභවය කෙරෙහි තුනී වූ ඇල්ම ඉතිරි බැවින් මෙය සිදුවේ.
යෝගියා තව දුරටත් පළමු සේ ම නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඒවා මුහුකුරා යෑමෙන් අනාගාමි වේ. අනාගාමී මාර්. සිතත්, එය ළ¼ඟට ම පිළිවෙලින් එහි ඵල සිත් දෙකෙක් හෝ තුනෙක් පහළ වේ. අනාගාමී මාර්ග සිත පහළවීමෙන් කාමරාග, ව්‍යාපාද දෙක වැනසෙහි. එහි ඵල සිතින් එකී කෙලෙස් නිසා එතෙක් පැවැති විඩාව දුරු ව සිතට මහත් පහසුව ලැබේ. අනාගාමී යන්නෙහි අර්ථය ආයෙත් මෙහාට (මේ කාමභාවයටත්, පහත් රූප ලෝකවලටත්) උත්පත්ති වශයෙන් නො එන තැනැත්තා යනු යි. විපස්සනා වැඩීම එතෙකින් නවතා සිටියොත් හේ මරණින් මතු ශුද්ධාවාස බඹලොවෙක උපදී. එහි දී විදසුන් වඩා රහත් වෙයි.
ඉදින් හේ මතු භවයට කල් නො දමා පළමු සේ ම යළිත් නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඉතිරි කෙලෙස් හෙවත් රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන සංයෝජන පස ම මුලිනුදුරා දමා රහත් වෙයි. රහත් මග සිත පහළ ව කෙලෙස් මුලිනුදුරාලීමට අනතුරුව ඒ උදුරා ලු සියලු කෙලෙසුන් නිසා එතෙක් පැවැති කෙලෙස් විඩාව දුරු කොට මහත් ම පහසු ව උදා කෙරෙමින් රහත් ඵල දෙකක් හෝ තුනක් පහළ ව නිරුද්ධ වේ.
මේ පරම පවිත්‍රතාවට පත් අග්‍රම ඵලය ලැබූ පුද්ගලයා රහතුන් වහන්සේ නමින් හැඳින්වේ. උන් වහන්සේ ලබා ඇති ස්කන්ධ පසින් යුක්තව ඉන්නා තාක් විටින් විට නිවන සිතින් අරමුණු කොට එහි සිත පිහිටුවා ගෙන එයින් ලැබෙන ශාන්ත සුවය විඳින සේක. මෙය විමුක්ති සැප විඳීම නමින් හැඳින්වේ. ස්කන්ධ පරිනිර්වාණයට පෙර උන්වහන්සේ අරමුණු කරන සිත පිහිටුවා තබන ඒ නිර්වාණ ධාතුව සඋපාදිශේෂ නිර්වාණ නමින් හැඳින්වේ.
මේ සතර මාර්ග ඥාන ලැබීමෙන් වන පිරිසිදු බව ඥාන දර්ශන විශුද්ධි නම් වේ. විශේෂයෙන් ධ්‍යානයක් නො වඩා විදර්ශනාව වඩා සෝවාන් වූ තැනැත්තාට ;සීවාන්වීමේ දී ම ස්වභාවයෙන් ප්‍රථම ධ්‍යානය ඇති වේ යැයි යට කියන ලදී. ඒ තැනැත්තා සකෘදාගාමී අර්හත් යන සතර අවස්ථාවට පත් වීමේදීත් ඒ සියලු මාර්ගඵල සිත් ප්‍රථම ධ්‍යාන සහගත වේ යැයි දත යුතු. සෝවාන් වූ පසු සමහරු ඉතිරි ධ්‍යාන වඩාත්, ඒ අයගේ මාර්ග සිත්, ඵල සිත් ඒ ලබා ගත් ධ්‍යානයෙන් යුක්ත වේ.
ශීලයෙහි පිහිටා ආනාපාන සතිය වැඩූ තැනැත්තා මෙහි කී පරිදි ආනාපාන ශමථය වඩා ලෞකික ධ්‍යාන ලබා විෂ්කම්බන ප්‍රහාණයෙන් චිත්ත ශමථය ද, විදර්ශනාව වඩා මාර්ග ඵල ලැබීමෙන් කෙලෙසුනුත්, කෙලෙස් විඩාවත් සහමුලින් නිසා පරම විශුද්ධියට පරම ශාන්තිය ලැබීමට, නිවන් සුව අත්පත් කිරීමට සමත් වෙයි.

 බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි

උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
      edit

0 comments:

Post a Comment